ඉන්දියාවට පහසු ජයක්

Women’s T20 Asia Cup

4

Harmanpreet Kaur සහ Richa Ghosh එක් කළ සබඳතාවත් සමඟින් ශක්තිමත් වූ ඉන්දීය ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ එක්සත් එමීර් රාජ්‍යය සමඟ පැවැති තරගයෙන් ලකුණු 78ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූවා. 

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (21) පැවැති මෙම තරගය, තරගාවලියේ 5 වැන්න ලෙස ක්‍රියාත්මක වූ අතර එම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව තමන් සහභාගී තරග ද්විත්වය ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට ද පත් වුනා.  

කාසියේ වාසිය ජයග්‍රහණය කරන ලද එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 201ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 123ක් පමණයි.  

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ඉනිමට අර්ධ ශතක ද්විත්වයක් ඇතුලත් වුනා. එහි දී නායිකා Harmanpreet Kaur පන්දු 47කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා. ඇය Jemimah Rodrigues (14) සමඟ සිව් වැනි කඩුල්ලට පන්දු 39ක දී ලකුණු 54ක් එක් කිරීමට ද සමත් වුනා.  

ඊට අමතර ව ඇය හා එක් වූ Richa Ghosh ද 5 වැනි කඩුල්ලට ලකුණු 75ක් එක් කරනවා. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා වැය කරන්නේ පන්දු 45ක් පමණක් වන අතර එය ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව බවට ද පත් වෙනවා. 

ඉන්දීය ඉනිම අවසන් වන විට Richa Ghosh  පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 64ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනාට අමතර ව ආරම්භක පිතිකාරිනී Shafali Verma පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් වේලාසනින් ම ඉන්දීය කණ්ඩායමට එක් කර තිබුණා.  

කඩුලු දවා ගැනීමේ දී නැවත වතාවක් දක්ෂතා දැක් වීමට කවීෂා එගොඩගේ සමත් වූ අතර ඊට අමතර ව  Heena Hotchandani සහ Samaira Dharnidharka කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉනිමේ වැඩිම දක්ෂතා දැක් වූ පිතිකාරිනිය බවට පත් වූයේ කවිෂා එගොඩගේ යි. ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉනිම අවසන් වන විට පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා සිටියා.  

ඊට අමතර ව ආරම්භක පිතිකාරිනී නායිකා Esha Oza පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වූවා. ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 40ක් තම කණ්ඩායමට එක් කළ ද අනෙකුත් ක්‍රීඩිකාවන්ගේ අඩු දක්ෂතා හේතුවෙන් ප්‍රබල ඉන්දියාව හමුවේ අසරණ වීමට ඔවුන්ට සිදු වූවා.  

කඩුලු දවා ගැනීමේ දී Deepti Sharma ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Tanuja Kanwar, Pooja Vastrakar, Radha Yadav සහ Renuka Singh කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 201 (20.0) Shafali Verma 37, Harmanpreet Kaur 66, Richa Ghosh නොදැවී 64, Kavisha Egodage 2/36 

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 123 (20.0) Esha Oza 38, Kavisha Egodage නොදැවී 40, Deepti Sharma 2/23 

 

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 78ක ජයක්.  

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Richa Ghosh (ඉන්දියාව) 

මෙම තරගයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් 26 වැනි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන Tanuja Kanwar එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තා. 

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<