තියුණු තරග කිහිපයක් සමඟ පාසල් රග්බි ලීගයේ තවත් සති අන්තයක් නිමා වෙයි

Dialog Schools Rugby League 2024

3
Dialog schools rugby league 2024 week 06

Dialog පාසල් රග්බි ලීගයේ හයවැනි සතියට අදාළ තරග ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.

සාන්ත පීතර විද්‍යාලය සහ සහිරා විද්‍යාලය

(බම්බලපිටියේ දී)

මෙම තරගය නම් සම්පූර්ණයෙන්ම පාහේ සාන්ත පීතර ක්‍රීඩකයින්ගේ ග්‍රහණයට නතු වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් උත්සාහක දිනුම් තුනක් සමඟ ලකුණු 19ක් ලබා ගන්නා අතරේ, සහිරා ක්‍රීඩකයින් ලකුණු 08ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ සහිරා ක්‍රීඩකයින් එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ. කෙසේ නමුත් මෙම කාල සීමාව තුළ සාන්ත පීතර විද්‍යාලය විසින් උත්සාහක දිනුම් 7ක් වාර්තා කරමින් තවත් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුනා.

සාන්ත පීතර විද්‍යාලය 62 (10T, 6C) – සහිරා විද්‍යාලය 08 (1T, 1P)

  • තරගයේ වීරයා – සලිත් ගාල්ලගේ (සාන්ත පීතර විද්‍යාලය)

රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

(Havelock ක්‍රීඩාංගණයේ දී)

මෙම තරගයේ දී නම් දෙපිළෙන් ම කරට කර සටනක් නිර්මාණය වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 12ක් ලබා ගනිමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.

ඒ අතරවාරයේ රාජකීයයන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණක් වුවත්, තරගයේ දෙවැනි අර්ධය තුළ ඔවුන් තවත් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 7ක් පමණයි. ඒ අනුව තරගයේ පළමු අර්ධය තුළ යම් පසුබෑමක් පෙන්නුම් කළත් රාජකීයයන් විසින් අවසානයේ තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

රාජකීය විද්‍යාලය 28 (4T, 4C) – සාන්ත ජෝසප් විද්‍යාලය 19 (3T, 2C)

  • තරගයේ වීරයා – අයියාශ් ශියාම්

ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය

(පල්ලෙකැලේ දී)

මෙම තරගයේ පළමු අර්ධයේ පටන් ත්‍රිත්ව විද්‍යාලය සිය ආධිපත්‍යය මුදා හැරීමට සමත් වූ අතර පළමු අර්ධය තුළ ඔවුන් ලකුණු 22ක් ලබා ගන්නා අතරේ, සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.

දෙවැනි අර්ධය තුළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් සිය වැරදි නිවැරදි කර ගනිමින් නැවත තරගයට අවතීර්ණ වීමට උත්සාහ ගත් අතර එහි දී ඔවුන් ලකුණු 12ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ත්‍රිත්ව ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි. කෙසේ නමුත් පළමු අර්ධයේ ලද ඉදිරිය නිසා ත්‍රිත්ව ක්‍රීඩකයින් ඉතා පහසුවෙන් මෙම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ත්‍රිත්ව විද්‍යාලය 32 (5T, 2C, 1P) – සාන්ත අන්තෝනි විද්‍යාලය 19 (3T, 2C)

  • තරගයේ වීරයා – යෙවන් හුලංගමුව

වෙස්ලි විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම උරෙනුර ගැටෙමින් හොඳ තරගයකට අවතීර්ණ වූ අතර, එහි දී වෙස්ලි විද්‍යාලය ලකුණු 17ක් ලබා ගන්නා අතරේ කිංග්ස්වුඩ් විද්‍යාලය ලකුණු 10ක් රැස් කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ තරගය සම්පූර්ණයෙන්ම තම අණසකට නතු කරගත් වෙස්ලි ක්‍රීඩකයින් තවත් ලකුණු 26ක් ලබා ගන්නා අතරේ, කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.

වෙස්ලි විද්‍යාලය 43 (7T, 4C) – කිංග්ස්වුඩ් විද්‍යාලය 17 (2T, 2C,1P)

  • තරගයේ වීරයා – සෙනුර පීරිස් (වෙස්ලි විද්‍යාලය)

විද්‍යාර්ථ විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

තරගයේ පළමු අර්ධය අතිශය තියුණු මෙන්ම තරගකාරී ලෙස ක්‍රියාත්මක වූ අතර, මෙහි දී විද්‍යාර්ථ ක්‍රීඩකයින් ලකුණු 21ක් ලබා ගන්නා අතරේ, තර්ස්ටන් ක්‍රීඩකයින් ඔවුන්ට තියුණු අභියෝගයක් ලබා දෙමින් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී තර්ස්ටන් ක්‍රීඩකයින්ගේ බල බිඳීමට විද්‍යාර්ථ ක්‍රීඩකයින් විසින් සමත් වූ අතර, මෙම අර්ධයේ දී විද්‍යාර්ථයින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වූ නමුත් තර්ස්ටන් ක්‍රීඩකයින් එකදු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ.

විද්‍යාර්ථ විද්‍යාලය 52 (8T, 6C) – ඉසිපතන විද්‍යාලය 20 (2T, 2C, 2P)

  • තරගයේ වීරයා – ගයාන් පෙරේරා (විද්‍යාර්ථ විද්‍යාලය)

ධර්මරාජ විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය

මෙම සති අන්තයේ පැවැත්වුණු තියුණු ම තරගය ලෙස මෙය හඳුන්වාදිය හැකි අතර, තරගයේ පළමු අර්ධයේ දී දෙපිළෙන් ම ලකුණු 5 බැගින් වාර්තා වුනා.

කෙසේ වෙතත් දෙවැනි අර්ධයේ දී ධර්මරාජ ක්‍රීඩකයින් තවත් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වූ අතර, විද්‍යා ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 5ක් පමණයි.

ධර්මරාජ විද්‍යාලය 15 (2T, 1C, 1P) – විද්‍යා විද්‍යාලය 10 (2T)

  • තරගයේ වීරයා – රවිඳු වික්‍රමගේ (ධර්මරාජ විද්‍යාලය)

සාන්ත තෝමස් විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය

මෙම තරගයේ නම් ආරම්භයේ පටන් ම සාන්ත තෝමස් ක්‍රීඩකයින් පෙරමුණ ලබා ගනිමින් ක්‍රීඩා කිරීමට සමත් වුනා. තරගයේ පළමු අර්ධය තුළ තෝමසුවන් විසි ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය තුළ ද ශ්‍රී සුමංගල ක්‍රීඩකයින්ට සැලකිය යුතු තරම් දක්ෂතාවක් දැක්වීමට හැකි වුනේ නැහැ. මෙම අර්ධය තුළ තෝමසුවන් විසින් තවත් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුනා.

සාන්ත තෝමස් විද්‍යාලය 57 (9T, 6C) – ශ්‍රී සුමංගල විද්‍යාලය 18 (2T, 1C, 2P)

  • තරගයේ වීරයා – මර්කයිල් කරුණාරත්න (සාන්ත තෝමස් විද්‍යාලය)

ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

මෙම සති අන්තයේ පැවැත්වුණු අනෙක් තීරණාත්මක සහ තියුණු තරගය ලෙස හඳුන්වාදිය හැකි මෙම තරගයේ පළමු අර්ධය තුළ තියුණු සටනකින් අනතුරුව පෙරමුණට පැමිණීමට ඩී.එස්. ක්‍රීඩකයින් සමත් වුනේ ලකුණු 15ක් ලබා ගනිමිනුයි. නමුත් මේ අතරවාරයේ ඉසිපතන ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී මෙම ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට ඉසිපතන ක්‍රීඩකයින් විසින් සමත් වූ අතර, එම අර්ධයේ දී ඔවුන් විසින් ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වූ නමුත් , ඩී.එස්. ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 9ක් පමණයි. මේ අනුව මෙම තරගයෙන් තියුණු ජයක් ලබා ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් වුනා.

ඉසිපතන විද්‍යාලය 27 (3T, 3C, 2P) – ඩී.එස්.සේනානායක විද්‍යාලය 24 (2T, 1C, 4P)

  • තරගයේ වීරයා – කලිඳු සිල්වා (ඉසිපතන විද්‍යාලය)

දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<