විශ්මි සහ හර්ෂිතා පළමු ජයට පාර කියයි

Women’s T20 Asia Cup 2024

7
Women’s T20 Asia Cup - Sri Lanka Vs Bangladesh

විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම විසින් පෑ දක්ෂතා හේතුවෙන් 2024 ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්සයි ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වූවා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගාවලියේ 4 වැනි තරගය ලෙසින් 20 වැනිදා රාත්‍රියේ පැවැතියේ සත්කාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයයි. එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වූවා. ඒ තරගය නිමා වීමට තවත් පන්දු 17ක් ම ඉතිරිව තිබියදීයි.

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 111ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් පන්දු 17ක් ඉතිරිව තිබිය දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 114ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.

කාසිය වාසිය දිනා ගත් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්ත ද ඔවුන්ට එහි වාසිය ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 17ක් වෙද්දී නැවත හරවා යැවීමට ඔවුන් සමත් වූවා.

එම දැවී යෑම්වලින් අනතුරු ව වඩාත් වගකීම් සහිත ඉනිමක නිරත වෙමින් බංග්ලාදේශ ඉනිමට ගෞරවනිය ලකුණු පුවරුවක් තනා දීමට නායිකා Nigar Sultana සමත් වීම කැපී පෙණුනා. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ පන්දු 59කට මුහුණ දුන් ඇය හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා ගන්නේ Shorifa Khatun (5) සමඟ එක් වෙමින් සිව් වැනි කඩුල්ලේ දී පන්දු 56ක දී ලකුණු 31ක සබඳතාවක් ද එක් කරමිනුයි.

අනතුරු ව Shorna Akter සමඟ ද 7 වැනි කඩුල්ලට ලකුණු 34ක සබඳතාවක් එක් කිරීමට ඇය සමත් වෙනවා. Shorna Akter පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 25ක් ලබා ගනිමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභීන් අතර 2 වැනි තැනට පත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී ඉනෝෂි ප්‍රියදර්ශනී සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර චමරි අතපත්තු, සුගන්දිකා කුමාරි සහ කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් සුපුරුදු ලෙසින් ම විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු විසින් ඉනිම ආරම්භ කළ ද චමරි අතපත්තුට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටිමට අවකාශ ලැබුණේ නැහැ. ඇයට ලකුණු 12ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වීමට සිදු වූවා.

ඒ වෙද්දී ඇය පන්දු 12කට මුහුණ දී සිටි අතර එම ඉනිම තුළ හතරේ පහරක් සහ හයේ පහරක් ද තිබූණා. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල එලෙස නිමා වෙද්දී එම කඩුල්ලට පන්දු 35කට ලකුණු 32ක් එක් ව තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමුවරියගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි හර්ෂිතා සමරවික්‍රම සමඟින් එක් වූ විශ්මි ගුණරත්න 2 වැනි කඩුල්ල තම ඉනිමේ ජයග්‍රාහී පදනම බවට පත් කළා. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් එක් කරනවා. ඒ පන්දු 48ක් වැය කරමිනුයි.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ විශ්මි ගුණරත්න ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය ඒ වෙද්දී පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා. එය ඇයගේ විස්සයි විස්ස තරග දිවියේ 3 වැනි අර්ධ ශතකය මෙන් ම මෙවර මෙම තරගාවලියේ වාර්තා වූ 3 වැනි අර්ධ ශතක ද වූවා.

විශ්මි ගුණරත්නගෙන් පසුව හර්ෂිතා සමරවික්‍රම ද පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33කට තම ඉනිම නිමා කර ගත්තා. ඒ වෙද්දී ඇය කවීෂා දිල්හාරි සමඟ 3 වැනි කඩුල්ලට එක් වෙමින් පන්දු 14ක දී ලකුණු 22ක සබඳතාවක් ද එක් කළා.

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වන විට කවීෂා දිල්හාරි පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 12ක් ද සහ හසිනි පෙරේරා ලකුණක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු ත්‍රිත්වයට ම වගකීමට වමතින් දඟ පන්දු යවන Nahida Akter සමත් වූවා.

27 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක දකුණත් පිතිකාරිනියක් වන Ishma Tanjim බංග්ලාදේශය වෙනුවෙන් එක්දින කාන්තා ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට මෙම තරගයේ දී සමත් වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 111 (20.0) Nigar Sultana 48, Shorna Akter 25, උදේශිකා ප්‍රබෝධනී 2/20, ඉනෝෂි ප්‍රියදර්ශනී 2/17

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 114 (17.1) විශ්මි ගුණරත්න 51, හර්ෂිතා සමරවික්‍රම 33, Nahida Akter 3/12

 

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – විශ්මි ගුණරත්න (ශ්‍රී ලංකාව)

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් මේ මස 21 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා. ඒ අනුව ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය පස්වරුවේත් සහ නේපාලය සහ පාකිස්තානය අතර තරගය රාත්‍රියේදීත් පැවැත්වීමට නියමිතයි.

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<