ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව් වෙනුවෙන් පළමු වෙඩි මුරය ලන්ඩනයෙන්!

Diamond League London 2024

2
Diamond League London 2024

2024 Diamond League මලල ක්‍රීඩා තරගාවලියේ London තරග අදියර අද (20) රාත්‍රියේ ක්‍රියාත්මක වුනේ මෙවර ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ඉසව් පිළිබඳ කොළ එළි දල්වමිනුයි.

මෙහි දී කාන්තා රිටි පැනීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Nina Kennedy විසින් සමත් වූ අතර, කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ජයග්‍රහණය ද ඕස්ට්‍රේලියාව වෙත ගෙනයාමට සමත් වූ Mackenzie Little සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ද සමඟින් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ අතර මේ දිනවල දී ලොව පුරා මලල ක්‍රීඩා රසිකයින්ගේ වැඩිම අවධානයක් දිනා ඇති ඉසව්වක් වන කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව නියෝජනය කළ නෙදර්ලන්තයේ Femke Bol නව තරගාවලි වාර්තාවක් ද සමඟින් (තත්පර 51.30) ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එළඹෙන ඔලිම්පික් උළෙලේ දී ඇය සහ ඇමරිකාවේ Sydney McLaughlin-Levrone අතර මෙම ඉසව්ව වෙනුවෙන් දැවැන්ත තරගයක් නිර්මාණය වනු ඇති බව අපේක්ෂා කළ හැකි.

ඊයේ දිනයේ තවත් බලාපොරොත්තු තබා සිටි ඉසව්වක් වූ පිරිමි උස පැනීමේ ඉසව්වට සහභාගී වීමට නියමිත ව සිටි ඔලිම්පික් ශූර කටාර් හි Mutaz Essa Barshim තරගයෙන් ඉවත් වීම නිසා ඉසව්වේ තරගකාරී බවට විශාල බලපෑමක් එල්ල වුනා. කෙසේ වෙතත් වත්මන් ගෘහස්ථ උස පැනීමේ ලෝක ශුර නවසීලන්තයේ Hamish Kerr මීටර් 2.30ක දක්ෂතාවක් ද සමඟ ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මීටර් 400 කාන්තා ඉසව්ව නියෝජනය කළ ජැමෙයිකාවේ Nickisha Pryce තත්පර 48.57ක කාලයක් සමඟ ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එය මෙම වසරේ හොඳම කාලය සහ නව තරගාවලි වාර්තාවක් ලෙස ද සටහන් වුනා.

මේ අතර පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට බ්‍රසීලයේ Alison Dos Santos සමත් වූ අතර, පිරිමි මීටර් 3000 ඉසව්ව ජයග්‍රහණය කිරීමට ස්විට්සර්ලන්තයේ Lokinyomo Lobalu සමත් වූ අතර, ඔහු මෙහි දී නව තරගාවලි වාර්තාවක් ද බිහි කිරීමට සමත් වුනා.

මේ අතර කාන්තා මීටර් 800 ඉසව්ව ජයග්‍රහණය කිරීමට එංගලන්තයේ Keely Hodgkinson විසින් සමත් වූ අතර, ඇය මෙහි දී වාර්තා කළ මිනිත්තු 1.54.61ක කාලය නව තරගාවලි වාර්තාවක් වූවා මෙන්ම, මෙම වසරේ ඉසව්ව සඳහා මෙතෙක් වාර්තා වූ හොඳම කාලය ලෙස ද වාර්තා අතරට එක් වීම විශේෂත්වයක්.

පිරිමි මීටර් 400 ඉසව්වෙන් ද නව තරගාවලි වාර්තාවක් සහ මෙම වසරේ හොඳම කාලය වාර්තා කිරීමට මහා බ්‍රිතාන්‍යයේ Matthew Hudson Smith විසින් සමත් වූ අතර, ඔහුගේ තරග නිමි කාලය තත්පර 43.74ක් ලෙස සටහන් වුනා.

මේ අතර කාන්තා මීටර් 200 ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට ඇමරිකා එක්සත් ජනපදයේ Gabrielle Thomas විසින් සමත් වූ අතර, බොහෝ ප්‍රේක්ෂක අවධානය ලැබූ පිරිමි මීටර්100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට ඇමරිකාවේ Noah Lyles විසින් සමත් වුනා.

තත්පර 9.81කින් මෙම ඉසව්ව නිමා කල Lyles තම පෞද්ගලික හොඳම දක්ෂතාව දැක්වූ අතරේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Akani Simbine දෙවැනි ස්ථානයටත්, බොට්ස්වානා දේශයේ Letsile Tebogo තෙවැනි ස්ථානයටත් පත් වුනා.

ඒ අයුරින් මෙවර ඔලිම්පික් උළෙලට පෙර පැවැත්වීමට නියමිත අවසන් Diamond League තරග අදියර ද අවසන් වූ අතර, මෙහි දී නව තරග වාර්තා සහ පෞද්ගලික දක්ෂතා බිහි වීම එළඹෙන ඔලිම්පික් සැණකෙළිය වෙනුවෙන් ඉතා හොඳ මාවතක් විවර කර දෙනු ඇති බව විශ්වාස කළ හැකි.

2024 පැරිස් ඔලිම්පික් උළෙල පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<