UAE කවීෂාගෙන් තුන් ඉරියව් දක්ෂතා

Women’s T20 Asia Cup

2
Women’s T20 Asia Cup - July 19th Roundup

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති කවීෂා එගොඩගේ ගේ තුන් ඉරියව් දක්ෂතා කරළියට පිවිසෙමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය (19) නිමා වූවා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක මෙම තරගාවලියේ පළමු තරගය නේපාලය කාන්තා කණ්ඩායම සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය කාන්තා කණ්ඩායම සමඟ පැවැති අතර එම තරගයෙන් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට නේපාල ක්‍රීඩිකාවෝ සමත් වූවා.

එම තරගයේ දී පරාජිත කණ්ඩායම නියෝජනය කළ කවීෂා එගොඩගේ පිතිකාරිනියක් ලෙසින් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී ලකුණු 12කට කඩුලු 3ක් දවා ගැනීමට ද සමත් වූවා.

තරගාවලියේ 2 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක වූ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයෙන් කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූවා.

1 වැනි තරගය

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය අතර

කාසියේ වාසිය දිනා ගත් නේපාල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 115ක් ලබා ගත් අතර එම ලකුණ ප්‍රමාණය 17 වැනි පන්දුවාරයේ දී සපුරා ගැනීමට නේපාල ක්‍රීඩිකාවෝ සමත් වූවා.

එම ඉනිමේ දී Samjhana Khadka අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර එය මෙවර තරගාවලියේ මංගල අර්ධ ශතකයයි. ඇය පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 72ක් ලබා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 115 (20.0) Kavisha Egodage 22, Khushi Sharma 36, Indu Barma 3/19

 

නේපාල කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 118 (16.1) Samjhana Khadka 72, Kavisha Egodage 3/12

 

නේපාල කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Samjhana Khadka (නේපාලය)

2 වැනි තරගය

පාකිස්තානය සහ ඉන්දියාව අතර

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසිය ද ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 108ක් පමණයි. එම ඉනිම ඒ තරමින් අසරණ කිරීමේ දී දකුණතින් පිට දඟ පන්දු යැවූ Deepti Sharma ලකුණු 20කට කඩුලු 3ක් දවා ගන්නවා.

පාකිස්තාන ඉනිමට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ තරගය අවසන් වීමට තවත් පන්දු 35ක් ඉතිරි ව තිබිය දී තරගය ජයග්‍රහණය කරන්නේ තවත් කඩුලු 7ක් ද ඉතිරි කර ගනිමිනුයි.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනියන් වූ Shafali Verma සහ Smriti Mandhana පළමු කඩුල්ල සඳහා පන්දු 57ක දී ලකුණු 85ක් ලබා ගැනීමට සමත් වෙනවා. එහි දී Shafali Verma පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40 ද සහ Smriti Mandhana පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 45ක් ද ලබා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 108 (19.2) Sidra Amin 25, Tuba Hassan 22, Renuka Singh 2/14, Pooja Vastrakar 2/31, Deepti Sharma 3/20, Shreyanka Patil 2/14

 

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 109 (14.1) Shafali Verma 40, Smriti Mandhana 45, Syeda Aroob Shah 2/09

 

ඉන්දියාවට කඩුලු 7ක ජයක්.

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Deepti Sharma (ඉන්දියාව)

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (20) පැවැත්විමට නියමිතයි.

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<