කමිඳු සහ දසුන් මහනුවර ක්‍රීඩකයෝ ඉදිරියට ගෙන යයි

3
Lanka Premier League 2024 - 18th July

කමිඳු මෙන්ඩිස් ගේ අර්ධ ශතකයත් සහ දසුන් ශානක ගේ වේගවත් ඉනිමත් මඟින් හැඩවූ මහනුවර ක්‍රීඩකයෝ Lanka Premier League ක්‍රිකට් තරගාවලියෙන් අගනුවර ක්‍රීඩකයන්ගේ ගමන නවතා දැමුවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (18) රාත්‍රියේ පැවැති Eliminator වටයේ තරගයේ දී ප්‍රතිවාදීන් වූයේ Colombo Strikers සහ Kandy Falcons කණ්ඩායම් ද්විත්වයයි.

කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයන්ගේ අදහස වූයේ පළමුවෙන් පන්දු යැවීමයි. ඒ අනුව ප්‍රතිවාදී අගනුවර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමේ දී මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 8ක් පමණක් දැවී තරගය අවසන් වීමට තවත් පන්දු 8ක් ද ඉතිරි කර ගනිමින් ලකුණු 163ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.

ඒ අනුව ඔවුන් එළැඹෙන 20 වැනිදා පැවැත්වෙන් සුදුසුකම් ලබා ගැනීමේ 2 වැනි තරගයට එක් වීමට අවස්ථාව සපුරා ගත්තා. මේ වෙද්දී එම තරගයට යාපනය කණ්ඩායම සුදුසුකම් ලබා ඇති අතර එම කණ්ඩායම් 2 අතුරින් පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන් මේ මස 21 වැනිදා පැවැත්වෙන LPL 5 වැනි අදියරේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති ගාලු කණ්ඩායම හා සමඟින් තරග වැදීමට යෝජිතයි.

ඊයේ පැවැති තරගයේ දී අගනුවර කණ්ඩායම වෙනුවෙන් දර්ශනීය අර්ධ ශතකයක් වාර්තා කිරීමට සදීර සමරවික්‍රම සමත් වූවා. ඔහු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 62ක් ලබා ගන්නේ පළමු Power Play අවස්ථාවේ කඩුලු 3ක් දැවී යමින් තිබිය දී පිටියට පිවිසෙමිනුයි.

ඊට අමතර ව ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ද සහ දුනිත් වෙල්ලාලගේ පන්දු 21ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ද ලබා ගන්නවා.

පන්දු යැවීමේ දී අවසන් පන්දුවාරයේ පිට පිට පන්දු 2ක දී කඩුලු 2ක් ද සමඟින් ලකුණු 24කට කඩුලු 3ක් දවා ගැනීමට Mohammad Hasnain සමත් වූවා. ඊට අමතර ව නායක වනිඳු හසරංග කඩුලු 2ක් ද සහ ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක කඩුල්ලක් ද බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ඉනිමේ ආරම්භය ද එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 38ක් තුළ අහිමි වූවා. එසේ වූවත් ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් එක් සිව් වැනි කඩුල්ල අහිමි වෙන විට ලකුණු 64ක් දක්වා තම කණ්ඩායම රැගෙන ඒමට සමත් වූවා.

නමුත් ඒ සමඟ ම වනිඳු හසරංග (1) ද කඩුල්ල හැර යෑම හේතුවෙන් මහනුවර ක්‍රීඩකයන් ගේ ජයග්‍රාහී බලාපොරොත්තු තරමක් දුරට දුරස් වූවා. එය තව දුරටත් තීව්‍ර වන්නේ වනිඳු හසරංග ගේ සොයුරු චතුරංග ද සිල්වා ද ලකුණු 9කට කඩුල්ල හැර යෑමත් සමඟ යි.

එම තත්ත්වයෙන් ගැලවීමට නම් මහනුවර කණ්ඩායමට ඉහළ ලකුණු සබඳතාවක් අවශ්‍ය වූ අතර එය සපුරාලීමට කමිඳු මෙන්ඩිස් සහ දසුන් ශානක සමත් වීම කැපී පෙණුනා. ඔවුන් දෙදෙනා 7 වැනි කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 69ක සබඳතාවක් එක් කරමින් තරගයේ ජයග්‍රාහී කඩඉම ආසන්නයට ම තම කණ්ඩායම රැගෙන ගියා.

එම තීරණාත්මක අවස්ථාවේ දී දසුන් ශානක පිටියෙන් ඉවත් කරමින් තියුණු තරගයක් නිර්මාණය කිරීමට අගනුවර ක්‍රීඩකයෝ සමත් වූවා. දසුන් ශානක පිටියෙන් ඉවත් ව යන විට පන්දු 21කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පන්දුවේ දී කමිඳු මෙන්ඩිස් ගේ ඉනිම ද අවසන් කිරීමට අගනුවර ක්‍රීඩකයෝ සමත් වූවා. ඒ වෙද්දී කමිඳු මෙන්ඩිස් පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා.

එතැන් සිට තරගයේ තීරණය රමේෂ් මෙන්ඩිස් සහ චමත් ගෝමස් සතු වූ අතර ඔවුන් දෙදෙනා එක් ව මුහුණ දුන් පන්දු 9 දී ලකුණු 11ක් ලබා ගනිමින් ගිලිහෙමින් තිබූ තරගයේ ජයග්‍රහණය මහනුවර ක්‍රීඩකයන් සතු කර ගත්තා.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී රමේෂ් පතිරණ නොදැවී ලකුණු 5ක් ද සහ චමත් ගෝමස් නොදැවී ලකුණු 2ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී බිනුර ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඉසිත විජේසුන්දර සහ Shadab Khan ද කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colombo Strikers – කඩුලු 8ක් දැවී 159 (20.0) Rahmanullah Gurbaz 30, සදීර සමරවික්‍රම 62, දුනිත් වෙල්ලාලගේ 28, Mohammad Hasnain 3/24, වනිඳු හසරංග 2/21

Kandy Falcons – කඩුලු 8ක් දැවී 163 (18.4) Andre Fletcher 20, කමිඳු මෙන්ඩිස් 54, දසුන් ශානක 39, බිනුර ප්‍රනාන්දු 3/35, මතීෂ පතිරණ 3/38

Kandy Falcons කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

තරගයේ වීරයා – කමිඳු මෙන්ඩිස් (Kandy Falcons)

2024 Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<