කාලිංග සහ අරුණ අතරේ තියුණු සටනක්

National Sports Festival 2024

6
48th National sports festival 2024

2024 48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් කිහිපයක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද (18) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

මෙහි දී කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ ඔලිම්පික් සුදුසුකම් ලාභිනී සබරගමුව පළාතේ නදීශා ලේකම්ගේ මීටර් 51.69ක දුරක් හෙල්ල විසිකරමින් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

කාන්තා මීටර් 100×4 ඉසව්වේ ජයග්‍රහණය බස්නාහිර පළාතට හිමි වූ අතර, ඔවුන් ඒ වෙනුවෙන් 47.30ක කාලයක් වාර්තා කරමිනුයි ඉසව්ව ජයග්‍රහණය කළේ. මේ අතර එම ඉසව්වේ පිරිමි අංශය දකුණු පළාත විසින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඔවුන් ඒ සඳහා වාර්තා කළ කාලය සටහන් වුනේ තත්පර 40.60ක් ලෙසයි.

මේ අතර පිරිමි මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කිරීමට කාලිංග කුමාරගේ විසින් සමත් වූ අතර, ඔහුගේ තරග නිමි කාලය තත්පර 20.72ක් ලෙස සටහන් වුනා. මේ අතර එම ඉසව්වේ දී කාංලිගට තියුණු සටනක් ලබා දෙමින් දෙවැනි ස්ථානය ලබා ගැනීමට මධ්‍යම පළාත නියෝජනය කළ අරුණ දර්ශන සමත් වූ අතර, ඔහු ඒ සඳහා වැය කළේ තත්පර 20.77ක කාලයක් පමණක් වීම විශේෂත්වයක්.

මෙවර තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගය ද අද දිනයේ ක්‍රියාත්මක වූ අතර, බස්නාහිර පළාත නියෝජනය කරන රුමේෂ් තරංග මීටර් 77.21ක දක්ෂතාවක් සමඟ එම ඉසව්වේ පළමු ස්ථානය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ අතර පිරිමි දුර පැනීමේ ඉසව්වේ ජයග්‍රහණය මීටර් 7.60ක දක්ෂතාවක් දක්වමින් මධ්‍යම පළාතේ ප්‍රසාද් විමලසිරි හිමි කර ගැනීමට සමත් වුනා.

මේ අතර කාන්තා මීටර් 200 ඉසව්ව තත්පර 24.29ක කාලයක් සමඟ ජයග්‍රහණය කිරීමට නදීශා රාමනායක විසින් සමත් වීම විශේෂත්වයක්. එමෙන්ම කාන්තා මීටර් 800 ඉසව්ව මිනිත්තු 2.04.71 කාලයක් සමඟ ජයග්‍රහණය කිරීමට නිමාලි ලියනාරච්චි විසින් සමත් වුනා.

කාන්තා මීටර් 400×4 ඉසව්ව දකුණු පළාත විසින් ජයග්‍රහණය කරනා අතරේ, එහි පිරිමි ඉසව්ව කාලිංග කුමාරගේ ප්‍රමුඛ බස්නාහිර පළාතට හිමි වුනා.

මේ අතර අද පැවැත්වුණු පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ දී තත්පර 51.26ක කාලයක් වාර්තා කරමින් නව වයස අවුරුදු 20න් පහළ ජාතික වාර්තාවක් පිහිටුවීමට අයෝමාල් අකලංක විසින් සමත් වුනා.

මීට අමතරව අද දිනයේ දී පැවැත්වුණු ඉසව් අතරින් විශේෂ අවධානයක් ලද ඉසව්වක් ලෙස පිරිමි මීටර් 100 මූලික වටයේ ඉසව් හඳුන්වාදිය හැකි. එහි දී චමෝද් යෝදසිංහ විසින් තත්පර 10.27කින් සිය ඉසව්ව අවසන් කරමින් තම පෞද්ගලික හොඳම දක්ෂතාව දැක්වීමට සමත් වූ අතර, ඔහු එම දක්ෂතාව දක්වන මොහොතේ දී සුළඟේ වේගය –0.2ක් ලෙස සටහන් වී තිබීමේ වඩාත් විශේෂ අවධානයක් ලබා ගත්තා.

දේශීය මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<