එංගලන්තය යෞවනයෝ ලකුණු 248ක් ඉදිරියෙන්

1
Sri Lanka U 19 Tour of England 2nd Youth Test Day 2

නායක Hamza Shaikh සහ Rocky Flintoff ඇතුළු ඉදිරි පෙළ ක්‍රීඩකයන්ගේ අනුකම්පා විරහිත ප්‍රහාරය හේතුවෙන් එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සහ අවසන් යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 2 වැනි දිනය (17) අවසන් වෙද්දී තවත් කඩුලු 5ක් ඉතිරි ව තිබිය දී ම ලකුණු 248ක් ඉදිරියෙන් සිටිමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් ව සිටිනවා.  

Cheltenham විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යෞවනයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා ලකුණු 153ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත ක්‍රීඩකයෝ මේ වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 401ක් ලබා සිටිනවා.

තරගයේ පළමු දිනයේ දී නොදැවී ලකුණු 57ක් ලබා සිටි ආරම්භක පිතිකරු Jaydn Denly අද තම ඉනිම ලකුණු 91කට සීමා කර ගන්නේ දිනයේ දැවී ගිය පළමු පිතිකරු බවට පත් වෙමිනුයි. ඔහු පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් තම ඉනිමට එක් කර ගත් අතර Keshana Fonseka සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ල සඳහා ලකුණු 85ක සබඳතාවක් ද තම කණ්ඩායමට එක් කළා.

එමෙන් ම පෙර දිනයේ ලකුණු 7ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැදී සිටි Keshana Fonseka ද පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වෙනවා.  ඔහු නායක Hamza Shaikh සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ල සඳහා ලකුණු 64ක සබඳතාවක් ගොඩ නැගීමට ද දායක වූවා.

ශ්‍රී ලංකා යෞවනයන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත් Hamza Shaikh ශතකයක් ලබා ගනිමින් නොනැවතී එංගලන්තයේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක Andrew Flintoff ගේ 16 හැවිරිදි වියේ පසුවෙන පුතා වන Rocky Flintoff සමඟ එක්වෙමින් එංගලන්ත ඉනිමේ වාර්තා වූ හොඳම ලකුණු සබඳතාව ද එක් කළා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට එක් කළ සබඳතාව ලකුණු 121ක්.

Hamza Shaikh පන්දු 211කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 107ක් ලබා ගත් අතර Rocky Flintoff මේ වෙද්දී පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 82ක් ලබා සිටිනවා.

තරගය 2 වැනි දිනයට නතර කරන විට අනෙක් අන්තයේ පිතිකරණයේ යෙදී සිටි Jack Carney පන්දු 56කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී පෙර දිනයේ කඩුල්ලක් ලබා සිටි මනුජ චන්තුක තම ගිණුමට තවත් කඩුල්ලක් එක් කර ගනිමින් ලකුණු 59කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ මෙතෙක් හොඳම පන්දු යැවීම වාර්තා කළ පන්දු යවන්නා බවට පත් වූවා.

ඊට අමතර ව විහස් තෙව්මික, ප්‍රවීන් මනීෂ සහ දිනුර කළුපහන කඩුල්ලක් බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (45.2) ගයන වීරසිංහ 77, Naavya Sharma 5/44, Harry Moore 2/38, Charlie Barnard 2/35

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 401 (117.0) Jaydn Denly 91, Keshana Fonseka 76, Hamza Shaikh 107, Rocky Flintoff නොදැවී 82, මනුජ චන්තුක 2/59

තරගය 3 වැනි දිනයටත් අද (18) ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<