අපට එරෙහි ව එන ආසියානු කෙල්ලෝ

Women’s T20 Asia Cup

1

5 වැනි ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා සිට 28 වැනිදා දක්වා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.  

තරගාවලිය සඳහා A කාණ්ඩය නියෝජනය කරමින් පසුගිය ආසන්නත ම වසරේ ශූරයන් වූ ඉන්දියාව සමඟ නේපාලය, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් ද B කාණ්ඩය නියෝජනය කරමින් පසුගිය ආසන්නත ම වසරේ අනුශූරයන් මෙන් ම මෙවර තරගාවලියේ සත්කාරකයන් ද වන ශ්‍රී ලංකාව සමඟින් බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය ද එක් වෙනවා.  

තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් ම මෙවර ද චමරි අතපත්තු ට හිමි ව ඇති අතර පෙර ආසන්නත ම තරගාවලියන්වල දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් ද මෙම කණ්ඩායමට ඇතුලත්. 

ඔවුන් සමඟින් ආසියානු කිරුළ සොයා කෙරෙන මෙහෙයුමේ දී ප්‍රධාන ප්‍රතිවාදීන් කිහිප දෙනෙක් කෙරෙහි ම අවධානය යොමු කිරීම වැදගත්. මේ ඔවුන් සහ ඔවුන්ගේ කණ්ඩායම් ගැන ThePapare.com තැබෙන සටහනක්.  

o බංග්ලාදේශය 

4 වැනි තරගය, ජුලි 20 වැනිදා රාත්‍රී 7.00ට 

නිමා වූ ආසන්නත ම ආසියානු කුසලානයට සහභාගී වූ ක්‍රීඩිකාවන් 6 දෙනෙක් ද ඇතුලත් ව සැදුම්ලත් බංග්ලාදේශ කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ 2018 වසරේ ප්‍රබල ඉන්දියාව කඩුලු 3ක පරාජයට පත් කරමින් ලත් ජයග්‍රහණයේ ආඩම්බරයත් සමඟයි. ඉන්දියාවට අමතර ව ආසියානු කුසලානය දිනා ඇති එක ම කණ්ඩායම ලෙසින් ද ඔවුන් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගන්නවා.  

කෙසේ වෙතත් ඔවුන්ට ආසන්නත ම වසරේ දී හිමි වෙන්නේ ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ 5 වැනි ස්ථානයයි.   

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 26 වැනි වියේ පසුවෙන ඉදිරිපෙළ පිතිකාරිනයක් සේ ම කඩුල්ල පිටුපස අත් ආවරණ පැළඳ දක්ෂතා දක්වන Nigar Sultana වෙතයි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 95කට ක්‍රීඩා කරමින් මාලදිවයිනට එරෙහි ව ලබා ගත් ශතකයත් සමඟින් සහ අර්ධ ශතක 7ක් ද සමඟින් ලකුණු 1802ක් ලබා ගනිමින් මෙම තරගාවලිය හා එක් වෙනවා.  

පසුගිය ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වූ බංග්ලාදේශ කණ්ඩායමේ ද නායකත්වය හෙඹවූවේ ඇය ශ්‍රී ලංකාව හා සමඟ තරග 10කට ද එක් එම තරගවල දී අර්ධ ශතකයක් සමඟින් නොදැවී ලකුණු 242ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.  

කණ්ඩායමේ වඩාත් දක්ෂත ම ක්‍රීඩිකාව බවට විශ්වාසය දිනා ඇත්තේ 33 වැනි වියේ පසුවෙන Rumana Ahmed. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 84කට ක්‍රීඩා කරමින් ලකුණු 854ක් සහ කඩුලු 75ක් ලබා ගෙන තිබෙනවා.  

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් සංචිතය – Nigar Sultana (නායිකාව / කඩුලු රකින්නිය), Dilara Akter (කඩුලු රකින්නිය), Murshida Khatun, Ishma Tanjim, Rabeya Khan, Ritu Moni, Rumana Ahmed, Shorna Akter, Nahida Akter (උප නායිකාව), Jahanara Alam, Marufa Akter, Sabikun Nahar Jesmin, Sultana Khatun, Rubya Haider, Shorifa Khatun.   

o මැලේසියාව  

7 වැනි තරගය, ජුලි 22 වැනිදා පස්වරු 2.00ට 

මැලේසියාව මෙම තරගාවලිය හා එක් වෙන 3 වැනි අවස්ථාව මෙයයි. ඔවුන් මෙවර මෙම තරගාවලියට ඉදිරිපත් කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ පුහුණුකරුවෙක් වන තුෂාර කොඩිකාර මහතාගේ මඟ පෙන්වීම යටතේ සන්නද්ධ කළ කණ්ඩායමකුයි.  

කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි ව ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක පිතිකාරිනියක් වන Winifred Duraisingam වෙතයි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 67කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 1035ක් ලබා සිටිනවා.  

ඒ අතර ඇයගේ ඉහළ ම දක්ෂතාව වී ඇත්තේ ඔමාන් කණ්ඩායමට එරෙහිව පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 73යි. ඇය ඊට අමතර ව සිංගප්පූරුවට එරෙහිව අර්ධ ශතක 2ක් රැස් කිරීමට ද සමත් වෙනවා.  

ඇය මෙම තරගාවලියට පෙර මැලේසියාව වෙනුවෙන් තරග 61කට නායකත්වය දී ඇති පළපුරුදු ක්‍රීඩිකාවක් වන අතර ඇය නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී ද මැලේසියා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා. එහි දී ඔවුන්ට හිමි වෙන්නේ අවසන් ස්ථානයයි.  

දකුණතින් මඳ වේග පන්දු යවන්නියක් ලෙසින් ද දක්ෂතා දක්වන ඇය මේ වන විට කඩුලු 47ක් දවා ගෙන ඇති තිබෙන අතර ඇයගේ තරග ලැයිස්තුවේ ශ්‍රී ලංකාව සමඟින් තරග 3ක් ඇති අතර එහි දී ඇය ලකුණු 49ක් ලබා තිබෙනවා.   

ඇයට අමතර ව කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩිකාව බවට පත් ව ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවෙන Elsa Hunter. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 40කට සහභාගී වෙමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 668ක් ලබා ගනිමින් මෙම විශ්වාස තහවුරු කරගෙන තිබෙනවා. 

ඇයගේ ආසන්නත ම ඉනිම 5 තුළ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 178ක් තිබෙන අතර එහි තරගයක සාමාන්‍ය 44.5ක් ලෙසින් පවත්වා ගෙන යෑමට ද ඇය සමත් ව සිටිනවා.  

මැලේසියා කාන්තා ක්‍රිකට් සංචිතය – Winifred Duraisingam (නායක), Aina Najwa (කඩුලු රකින්නිය), Elsa Hunter, Mas Elysa, Wan Julia (කඩුලු රකින්නිය), Ainna Hamizah Hashim, Mahirah Izzati Ismail, Nur Arianna Natsya, Aisya Eleesa, Amalin Sorfina, Dhanusri Muhunan, Irdina Beh Nabil, Nur Aishah, Nur Izzatul Syafiqa, Suabika Manivannan. 

o තායිලන්තය 

12 වැනි තරගය, ජුලි 24 වැනිදා රාත්‍රී 7.00ට 

තායිලන්ත කණ්ඩායම මෙම තරගාවලියට එක් වෙන්නේ පසුගිය තරගාවලියේ දී අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට සමත් වූ කණ්ඩායම ලෙසයි. ඔවුන් එම වටයේ දී ආසියානු ශූරියන් වූ ඉන්දියාව වෙතින් ලකුණු 74ක පරාජයක් ලබා ගනිමින් තරගාවලියෙන් ඉවත් වෙනවා.  

කෙසේ වෙතත් තායිලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ දී ද යම් විශ්මය ජනක පුවත් මවන කණ්ඩායමක් බවට පත් වෙතැයි විශ්වාස කෙරේ.  

එම විශ්වාසය ඇති ව තිබෙන්නේ පළපුරුදු ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් සමඟ යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ද කණ්ඩායමට එක් ව ඇති බැවිනුයි. මේ යෞවනියන් අතුරින් පළමු වරට කණ්ඩායම මෙහෙයවීමේ වගකිම පවරා ඇත්තේ 20 හැවිරිදි වියේ පසුවෙන Thipatcha Putthawong වෙතයි.  

වමත් දඟපන්දු යවන්නියක් වන ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 52කට සහභාගී වෙමින් කඩුලු 68ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. ඇය ගේ තරග දිවියේ තරගයක දී කඩුලු 4ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 3ක් වාර්තා වී ඇති අතර ඒ අතුරින් ඉහළ ම දක්ෂතාව වන්නේ පසුගිය වසරේ දී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 8කට දවා ගන්නා ලද කඩුලු 5යි.    

ඇයගේ දක්ෂතා අතරට ශ්‍රී ලංකාවට එරෙහි ව 2022 වසරේ සිට වසරකට 1ක් බැගින් තරග 3කට සහභාගී වෙමින් ලබා ඇති කඩුලු 4ක් දැක් විය හැකියි.  

එමෙන් ම 31 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන Chanida Sutthiruang, කණ්ඩායමේ වඩාත් විශ්වාසන්ත ම ක්‍රීඩිකාව බවට පත් ව තිබෙනවා. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 88කට ක්‍රීඩා කරමින් ලකුණු 778ක් සහ කඩුලු 74ක් ලබා තිබෙනවා.  

පිතිකාරිනියක් ලෙසින් දැක් වූ දක්ෂතා අතර ශ්‍රී ලංකාවට එරෙහිව තරග 4කට එක් වෙමින් ලකුණු 85ක් ලබා සිටින අතර එය ඇය සහභාගී වූ තරග අතුරින් රටකට එරෙහි ව ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වෙනවා.  

දකුණතින් මඳ වේග පන්දු යවන ඇයගේ හොඳම පන්දු යැවීම බවට පත් ව ඇත්තේ ඉන්දුනීසියාවට එරෙහි ව ලකුණු 04කට දවා ගන්නා ලද කඩුලු 5යි.  

තායිලන්ත කාන්තා ක්‍රිකට් සංචිතය – Thipatcha Putthawong (නායක), Suwanan Khiaoto (කඩුලු රකින්නිය), Nannapat Kocharoenkai (කඩුලු රකින්නිය), Nattaya Boochatham, Onnicha Kamchomphu, Rosenan Kanoh, Phannita Maya, Chanida Sutthiruang, Suleeporn Laomi, Kanyakorn Bunthansen, Nannapat Chaihan, Sunida Chaturongrattana, Chayanisa Phengpaen, Koranit Suwanchonrathi, Aphisara Suwanchonrathi. 

මේ සියලු දෙනාමත් සමඟින් ශ්‍රී ලංකාවට ආසියානු කාන්තා විස්සයි විස්ස කුසලානයේ පහස ලබා දීමට සටනට පිවිසෙන මව්රට දිනවන කණ්ඩායම; 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි, අමා කාංචනා, ඉනෝෂි ප්‍රියදර්ශනී, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, ශෂිනි ගිම්හානි, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා. 

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<