ශූරතාව ඉන්දියාවට; ශ්‍රී ලංකාවට අනුශූරතාවය

FIBA U18 Asia Cup 2024 - SABA Qualifiers

78

FIBA U18 Asia Cup SABA Qualifiers 2024 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව ඊයේ (13) සමත් වුනා. 

තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් ඊයේ සවස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග වැදුණු අතර, මෙහි දී ලකුණු 85 – 62ක් ලෙසයි අවසන් ලකුණු තත්වය දිස් වුනේ. 

තරගයේ ආරම්භයේ පටන් ශ්‍රී ලංකාවෙන් ඉන්දීය කණ්ඩායමට තියුණු අභියෝගයක් එල්ල වූ අතර, පළමු කාර්තුව තුළ ඉන්දියාව ලකුණු 19ක් ලබා ගන්නා අතරේ, ශ්‍රී ලංකාව ලකුණු 16ක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ දෙවැනි කාර්තුව තුළ ඉන්දියාව අබිබවා යෑමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණු අතර, මෙහි දී ශ්‍රී ලංකාව ලකුණු 27ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉන්දියාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 24ක් පමණයි. 

මේ අනුව තරගයේ පළමු අර්ධය නිමා වන විට තරගයේ ලකුණු පුවරුව 43 – 43ක් ලෙස සම මට්ටමේ පැවතුණා. 

කෙසේ වෙතත් තරගයේ තෙවැනි අර්ධය තුළ ඉන්දියාව නැවත තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනේ තවත් ලකුණු 20ක් ලබා ගනිමිනුයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම කාර්තුව තුළ ලබා ගත්තේ ලකුණු 07ක් පමණයි. සමස්ත තරගයේ තීරණය ඉන්දියාව වාසිදායක ලෙස වෙනස් වීමට ප්‍රධානතම හේතුව මෙම කාර්තුව ලෙස හඳුන්වා දිය හැකි. 

තරගයේ අවසන් කාර්තුව තුළ ද ඉන්දියාව පෙර ලෙස ම සිය ආධිපත්‍යය රඳවා ගනිමින් තවත් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනේ ලකුණු 13ක් පමණයි. 

මේ අනුවයි ඉන්දියාව විසින් FIBA U18 Asia Cup 2024 SABA Qualifiers තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුනේ. 

මේ අතර ඊයේ දිනයේ ම මෙම තරගයට පෙර පැවැත්වුණු තෙවැනි ස්ථානය සඳහා තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනිමින් ක්‍රියාත්මක වූ අතර, මෙහි දී මාලදිවයින විසින් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 59 – 57ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම ඔබ වෙත නිරන්තරයෙන් ම සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<