පරාජයකින් පන්නරය ලද ශ්‍රී ලංකාව අවසන් තරගයට

FIBA U18 Asia Cup 2024 - SABA Qualifiers

167
FIBA U18 Asia Cup 2024 SABA Qualifiers

FIBA U18 Asia Cup SABA Qualifiers තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (12) සමත් වුනා.

තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල ඊයේ දිනයෙන් අවසන් වූ අතර, එහි දී ශ්‍රී ලංකාව සමඟ අනෙක් පසින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබ ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා. 

පසුගිය 10 වැනි දා මාලදිවයින සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු තරගයෙන් ආරම්භ වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිවාදියා ලෙස ඉන්දියාව මුණ ගැසුණු අතර, එහි දී අවාසනාවන්ත පරාජයකට මුහුණ පෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා. 

මෙම තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයින් ලකුණු 88ක් ලබා ගන්නා අතරේ, ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනේ ලකුණු 44ක් පමණයි. 

කෙසේ වෙතත් පළමු තරගයෙන් ලද පරාජයෙන් පන්නරය ලත් ශ්‍රී ලංකා යෞවනයින් පසුගිය 11 වැනි දා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වුණු තරගය ලකුණු 93 – 56ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

මේ අනුව තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය වූ ඊයේ දිනය ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට ඉතා වැදගත් එකක් වූ අතර, එතෙක් තරගාවලියේ තමන් සහභාගී වූ තරග දෙකෙන් එක් තරගය බැගින් ජයග්‍රහණය කිරීමට සමත් වූ ඔවුන් අවසන් මහා තරගයට පිවිසීමට තවත් එක් ජයග්‍රහණයක් සොයමින් සිටියා. 

මෙම තරගය ආරම්භ වීමට ප්‍රථම ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු තරගයෙන් ඉන්දියාව ලකුණු 110 – 37ක් ලෙස ඉතා පහසු ජයක් ලබමින් අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගත් අතර, බංග්ලාදේශය තරගාවලියේ නොකඩවා ලැබූ තෙවන පරාජයත් උරුම කරගත්තා. 

මින් අනතුරුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තීරණාත්මක තරගය ආරම්භ වූ අතර, එහි පළමු කාර්තුවේ පටන් ම ශ්‍රී ලංකාව තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ පළමු කාර්තුව නිමා වන විට ශ්‍රී ලංකාව ලකුණු 30-20ක් ලෙස ඉදිරියෙන් පසු වූ අතර, පළමු අර්ධය වන විට එම ලකුණු තත්වය 56-46ක් දක්වා ගෙන ඒමට ඔවුන් සමත් වුනා. 

තරගයේ තෙවැනි කාර්තුව තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තවත් ලකුණු 19ක් ලබා ගන්නා අතරේ, මාලදිවයින් ක්‍රීඩකයින් ද හොඳ තරගයක් ලබා දෙමින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් තරගයේ අවසන් කාර්තුව තුළ නැවතත් ශ්‍රී ලංකාව මාලදිවයින් ක්‍රීඩකයින් ව පසු පසට ඇද දමින් තරගයේ සමස්ත ලකුණු සංඛ්‍යාව 102 – 76ක් මට්ටමට ගෙන ඒමට සමත් වුනා. 

මේ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගත් අතර, ඔවුන් අද (13) සවස 6.30ට ඉන්දියාව සමඟින් අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි. 

FIBA U19 Asia Cup 2024 – SABA Qualifiers තරගාවලියේ සජීවී දසුන් ThePapare හරහා දැක බලා ගැනීමේ අවස්ථාව ඔබට උදා වී තිබෙනවා, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<