ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් සහකරු MAS Holdings

Paris Olympics 2024

31
Mas holding signs as official clothing partner

2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් සහකරු ලෙස MAS Holdings ආයතනය අත්වැල් බැඳ ගෙන තිබෙනවා. 

ඒ අනුව පසුගිය 08 වැනි දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැත්වුණු වැඩසටහනක දී මෙම ඇඳුම් නිල වශයෙන් ප්‍රධාන කෙරුණු අතර, ඊට අමතරව MAS විසින් නව මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් මාලාවකට ද ආරම්භය සනිටුහන් කළා. 

මෙවර ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු සහභාගී වීමට නියමිත අතර, ඔවුන් වෙනුවෙන් සැකසූ නිල ඇඳුම ශ්‍රී ලාංකේය අතීත ආත්මාරක්ෂක සටන් කලාවක් වන අංගම්පොර සහ ඇම්බැක්කේ කැටයම් කලාවේ ආභාෂය ලබා තිබෙනවා. 

මේ අතර MAS විසින් වසර 8ක කාලයක් සඳහා සැලසුම් සකස් කරමින් රුපියල් මිලියන 650ක මුදල් ආයෝජනයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පුහුණු ඇකඩමිය පිළිබඳව ද මෙහි දී දැනුවත් කෙරුණා. 

ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය සහ ශ්‍රී ලංකා ඔලිම්පික් සම්මේලනය සමඟ එක් වෙමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම පුහුණු ඇකඩමිය මගින් පාසල් මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය අධ්‍යාපනික, පෝෂණය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ද ලබා දෙමින් ඔවුන් ඉහළ තලයකට රැගෙන යාමට ඔවුන් අපේක්ෂා කරනවා. 

ඒ අනුව මෙම ඇකඩමිය සඳහා තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 56 දෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. 

මෙවර ඔළිම්පික් උළෙලේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<