වසර 37ක් පැරණි කාන්තා උස පැනීමේ ලෝක වාර්තාව අලුත් වෙයි!

Wanda Diamond League 2024 Meeting de Paris

292
Yaroslava Mahuchikh and faith kipyegon

කාන්තා උස පැනීමේ ඉසව්වේ වසර 37ක් ඉපැරණි ලෝක වාර්තාව බිඳ හෙළීමට යුක්‍රේනයේ  Yaroslava Mahuchikh අද (07) පැරීසියේ දී සමත් වුනා. 

2024 වසරට අදාළ ව පැවැත්වෙන Wanda Diamond League තරගාවලියේ Meeting de Paris තරග අදියරට සම්බන්ධ වූ Yaroslava Mahuchikh විසින් අද දිනයේ දී මීටර් 2.10ක උසක් තරණය කරමිනුයි මෙම ලෝක වාර්තාව තමා සන්තකයට ගැනීමට සමත් වුනේ. 

මෙම ඉසව්ව සඳහා වත්මන් ගෘහස්ථ උස පැනීමේ ලෝක ශූරිය වන ඕස්ට්‍රේලියාවේ Nicola Olyaslagers ද සහභාගී වූ අතර, ඔවුන් දෙදෙනා ම මීටර් 2.01ක උසක් තරණය කිරීමට සමත් වුනත්, Nicola මීටර් 2.03 උස තරණය කිරීමට සමත් වුනේ නැහැ. 

කෙසේ වෙතත් මෙහි දී Yaroslava විසින් එම උස සිය දෙවන ප්‍රයත්නයේ දී තරණය කිරීමට සමත් වූ අතර, ඉන් පසුව ඇය මීටර් 2.07ක උස ද සිය දෙවැනි උත්සාහයේ දී තරණය කරමින් යුක්‍රේන කාන්තා උස පැනීමේ වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා. 

මින් පසුව ඇය විසින් මීටර් 2.10ක උසක් සිය ඉලක්කය ලෙස තබා ගත් අතර, එය සිය පළමු උත්සාහයෙන් ම සාර්ථක කරගනිමිනුයි නව ලෝක වාර්තාව කරා යාමට සමත් වුනේ. 

මීට පෙර මෙම ලෝක වාර්තාව බල්ගේරියාවේ Stefka Kostadinova සතුව තිබූ අතර, 1987 වර්ෂයේ දී ඇය විසින් මීටර් 2.09ක උසක් තරණය කරමිනුයි එම ලෝක වාර්තාවට හිමි කම් කීමට සමත් වුනේ. 

Yaroslava Mahuchikh මෙම ඉසව්වේ වත්මන් ලෝක ශූරිය ද වනවා. 

මේ අතර මෙම තරග අදියරේ අවසන් ඉසව්ව ලෙස ක්‍රියාත්මක වූ කාන්තා මීටර් 1500 ඉසව්ව නියෝජනය කළ කෙන්යාවේ Faith Kipyegon මිනිත්තු 03.49.04ක කාලයක් වාර්තා කරමින් පසුගිය වසරේ දී තමන් විසින් ම පිහිටවූ ලෝක වාර්තාව නැවත වරක් අලුත් කිරීමට සමත් වුනා. 

මෙතෙක් ඉතිහාසයේ මෙම ඉසව්ව මිනිත්තු 3.50.00 කාලයකට අඩුවෙන් නිම කිරීමේ ගෞරවය ඇය විසින් පසුගිය වසරේ දී පිහිටවූ ලෝක වාර්තාව සමඟ ලබා ගැනීමට සමත් වූ අතර, මේ වන විට ඇය එම කාල සීමාව මිනිත්තු 3.49.00කට ඉතා ආසන්න තත්වයකට රැගෙන ඒමට සමත් වී තිබීම විශේෂත්වයක්. 

ලෝක මලල ක්‍රීඩාවේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<