ඉන්දියාව නව විස්සයි විස්ස ලෝක ශූරයින් බවට පත් වෙයි!

ICC Men's T20 World Cup 2024

79

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශූරතාව ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (29) රාත්‍රියේ සමත් වුනා. 

මෙම තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක Rohit Sharma සතු වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දුවට පහර දීමයි. 

මෙහි දී ඉන්දියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට නායක Rohit සමඟින් Virat Kohli පිටියට පිවිසුණා. 

මෙතෙක් තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වූ Rohit ඊයේ දිනයේ දී ලකුණු 09කට දැවී ගිය අතර, ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 3ක් ම ලකුණු 34ක් තුළ බිඳ දැමීමට දකුණු අප්‍රිකාවට හැකි වුනා. 

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ දී අතිශය අසාර්ථක පිතිකරණ රටාවක් පෙන්නුම් කරමින් සිටි සුපිරි පිතිකරු Virat Kohli සමඟ පිතිකරණ අනුපිළිවෙළේ උසස් වීමක් ලද Axar Patel එක් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක් එකතු කිරීමට සමත් වුනා. මෙහි දී පන්දු 31ක් තුළ ලකුණු 47ක් ලබා ගැනීමට Axar විසින් සමත් වූ අතර, එම ඉනිමට හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් අඩංගු වුනා. 

එමෙන්ම Shivam Dube පන්දු 16කින් ලකුණු 27ක් ලබා ගැනීමට සමත් වුනා. මේ අතරේ කණ්ඩායමට අවශ්‍ය ම මොහොතේ සිය උපරිමය ලබා දුන් Kohli විසින් පන්දු 59ක් වැය කරමින් ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වුනේ, මීට වසර 10කට පෙර 2014 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව දියත් ඔහු විසින් දියත් කළ ඉනිම නැවත මතකයට රැගෙන එමිනුයි. 

Kohliගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත වුනා. මේ අනුව ඉන්දියාව විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් ලබා ගැනීමට සමත් වූ අතර, එහි දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් Keshav Maharaj සහ Anrich Nortje කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා. 

ඉන්දියාවෙන් ලද ලකුණු 177ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ඉනිමේ මුල් කඩුලු ද්විත්වයම ලකුණු 12ක් තුළ බිඳ වැටුණා. කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ Quinton de Kock සහ Tristan Stubbs විසින් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක් එක් කිරීමට සමත් වුනා. 

මෙහි දී Stubbs විසින් පන්දු 21කින් ලකුණු 31ක් ලබා ගනිද්දී, De Kock පන්දු 31ක් තුළ ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වුනා. 

නමුත් ඔවුන් දෙදෙනා ම ඉනිමේ ලකුණු සංඛ්‍යාව 106ක් වන විට පිටියෙන් ඉවත් කිරීමට ඉන්දියාවට හැකි වුනේ තරගය නැවතත් දෙපිළට ම විවෘත කරමිනුයි. 

මේ අවස්ථාවෙ දී Heinrich Klaasen සමඟ එක් වූ David Miller තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම පාහේ දකුණු අප්‍රිකාව වෙතට ගෙන ආවා. 

මෙහි දී සිය පෞද්ගලික හොඳම ඉනිමක් දියත් කළ Klaasen විසින් පන්දු 27ක් තුළ ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊයේ දැවැන්ත හයේ පහර 5ක් ද අන්තර්ගත වුනා. 

මේ හේතුවෙන් වරෙක දකුණු අප්‍රිකාවට තරගය ජයග්‍රහණය කිරීමට කඩුලු 6ක් අතැතිව පන්දු 30කින් ලකුණු 30ක් ලබා ගැනීමට ඉතිරි වී තිබුණා. පැවති තත්වය අනුව මෙය අප්‍රිකාවට ඉතා පහසු ඉලක්කයක් වුනත්, Jasprit Bumrah විසින් ඉනිමේ 16 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට පන්දුව අතට ගැනීමත් සමඟින් සියල්ල වෙනස් වුනා. 

ඉන් පසුව තරගයේ ක්‍රියාත්මක වූ පන්දුවාර 4 තුළ කඩුලු 2ක් දැවී ගිය අප්‍රිකානුවන් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 14ක් පමණයි. ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් Hardik Pandya විසින් යොමු කළ තරගයේ අවසන් පන්දුවාරයේ දී ලකුණු 16ක් අවශ්‍ය වුනා. මේ වෙනුවෙන් ක්‍රියාත්මක වූ David Miller විසින් එම පන්දුවාරයේ Pandya යොමු කළ පළමු පන්දුවට ම දැවැන්ත පහරක් කරා යොමු වුනත්, හයේ සීමාව අසල දීම එය Suryakumar Yadav විසින් උඩපන්දුවක් ලෙස රැක ගැනීමට සමත් වුනේ තරගයේ ජයග්‍රහණය ඉන්දියාව සතු බවට තහවුරු කරමිනුයි. 

ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුනා. 

  • ඉන්දියාව – 176/7 (20) Virat Kohli 76, Axar Patel 47, Keshav Maharaj 2/23, Kagiso Rabada 2/26 
  • දකුණු අප්‍රිකාව – 169/8 (20) Heinrich Klaasen 52, Quinton de Kock 39, Hardik Pandya 3/20, Jasprit Bumrah 2/1 

තරගයේ වීරයා – Virat Kohli  

තරගාවලියේ වීරයා – Jasprit Bumrah (කඩුලු 15) 

මෙවර තරගාවලිය නිමා වන විට ඉන්දියාවේ Arshdeep Singh කඩුලු 17ක් දවා ගනිමින් ඇෆ්ගනිස්තානයේ Fazalhaq Farooqi සමඟ තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් ලෙස සම තැන් ගැනීමට සමත් වී ඇති අතර, තරගාවලියේ වීරයා වූ Jasprit Bumrah කඩුලු 15ක් දවා ගනිමින් එහි තෙවැනි ස්ථානයට පත් වුනා. 

මේ අතර ඇෆ්ගනිස්තානයේ Rahmanullah Gurbaz ලකුණු 281ක් සමඟින් තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා වන අතරේ, ඉන්දීය නායක Rohit Sharma ලකුණු 257ක් සමඟින් මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වුනා. 

මෙම ජයග්‍රහණයත් සමඟින් ඉන්දියාව ඉතිහාසයේ දෙවැනි වරටත් විස්සයි විස්ස ලෝක ශූරතාවක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

එමෙන්ම මෙම තරගයෙන් පසුව විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තමන් තීරණය කළ බව Rohit Sharma සහ Virat Kohli විසින් නිවේදනය කිරීමත් විශේෂ සිදුවීමක්. 

ක්‍රිකට් ලෝකයේ සිදු වන සියලු උණුසුම් සිදුවීම් පිළිබඳ තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<