කොදෙව් ක්‍රීඩිකාවෝ එකට එක කරයි

West Indies Women tour of Sri Lanka

50

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් යුක්තව පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ අද (28) සමත් වූවා.  

සංචාරක ක්‍රීඩිකාවන් සමඟ පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0කින් ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වූව ද මෙම තරගාවලියේ දී ඔවුන්ට ජය ගැනීමට හැකි වන්නේ පළමු තරගය පමණයි.  

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දෙරට අතර පැවැති තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක ක්‍රීඩිකාවෝ සමත් වීමත් සමඟින් ඔවුන් මෙම තරගාවලි ජයග්‍රහණය වාර්තා කළා. දෙරට අතර පැවැති 2 වැනි තරගයේ ජයග්‍රහණය ද හිමි වූයේ කොදෙව් ක්‍රීඩිකාවන්ටයි.  

මෙම තරගයට එක් වීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉමේෂා දුලානි, කඩුලු රැකි ක්‍රීඩිකා කෞෂිනී නුත්‍යාංගනා සහ ඉනෝෂි ප්‍රියදර්ශනී වෙනුවට නිලක්ෂිකා සිල්වා, සචිනි නිසංසලා සහ ශෂිනි ගිම්හානි කැඳවා තිබුණ අතර සංචාරක බටහිර ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම කිසිදු වෙනසක් නොමැතිව අද තරගයට එක් වූවා.   

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, අමා කාංචනා, සචිනි නිසංසලා, කාව්‍යා කාවින්දි, සුගන්දිකා කුමාරි, ශෂිනි ගිම්හානි. 

 

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – Hayley Matthews (නායිකාව), Stafanie Taylor, Shemaine Campbelle (කඩුලු රකින්නිය), Chedean Nation, Aaliyah Alleyne, Chinelle Henry, Afy Fletcher, Qiana Joseph,  Cherry-Ann Fraser, Karishma Ramharack, Shamilia Connell.  

කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු ලෙසින් ම විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු විසින් ආරම්භ කළා.  

ඉනිමේ දෙවැනි පන්දුවේ දී ම ලකුණු 2ක් ලබා සිටිය දී විශ්මි ගුණරත්න දවා ගැනීමට Chinelle Henry සමත් වූවා. ඊට පසුව පිටියට පිවිසියේ හර්ෂිතා සමරවික්‍රම යි. ඇය සහ චමරි අතපත්තු අතර 2 වැනි කඩුල්ලට ලකුණු 55ක සබඳතාවක් එක් වූවා. ඒ පන්දු 54ක් පමණක් වැය කරමිනුයි.  

හර්ෂිතා සමරවික්‍රම පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටිය දී 2 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියා. ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් දැවී යන්නේ නායිකා චමරි අතපත්තු යි. ඇය දැවී යන විට පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා ඉනිම ඒ වෙද්දී 91ක් ව පැවැතියා.  

ඉනිමේ සිවු වැනි කඩුල්ල ලෙසින් හසිනි පෙරේරා ලකුණු 2ක් ලබා සිටිය දී දැවී යන අතර කවීෂා දිල්හාරි පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.  

ලකුණු 102කට කඩුලු 5ක් දැවී තිබිය දී පිටියේ එක් වූ නිලක්ෂිකා සිල්වා සහ අමා කාංචනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 21ක දී ලකුණු 31ක සබඳතාවක් එක් කළා. නිලක්ෂිකා සිල්වා පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12කට දුවද්දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.  

ඒ සමඟ ම යැවුණ අනෙක් පන්දුවේ දී නවක පිතිකාරිනිය වූ සචිනි නිසංසලා ලකුණු නොලබා ම දැවී ගියා.  

ශ්‍රී ලංකා ඉනිම කඩුලු 7කට ලකුණු 141ක් ව තිබිය දී නතර වෙද්දී පිටියේ නොදැවී රැදී සිටි අමා කාංචනා පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද සහ කාව්‍යා කාවින්දි පන්දු 4කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 6ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Aaliyah Alleyne සහ Afy Fletcher කඩුලු 2ක් බැගින් දවා ගත් අතර, Chinelle Henry සහ Karishma Ramharack කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ක්‍රීඩිකාවන්ගේ ප්‍රබල ප්‍රහාරයකට ගොදුරු වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට සිදු වූවා. ඔවුන්ගේ ඉනිමේ පළමු ලකුණු 50 පන්දු 39ක දී වාර්තා වූ අතර පළමු කඩුල්ලට පන්දු 48ක දී ලකුණු 60ක සබඳතාවක් එක් කිරීමට Stafanie Taylor සහ නායිකාව වූ Hayley Matthews සමත් වූවා.  

Stafanie Taylor පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටිය දී කවීෂා දිල්හාරි ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී ගිය අතර ඊට පසුව පිටියට පිවිසි Shemaine Campbelle ද ඊට නොදෙවෙනි ඉනිමක් ක්‍රියාත්මක කළා.  

Hayley Matthews සහ Shemaine Campbelle එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් එක් කළ අතර ඒ සඳහා ඔවුන්ට වැය වූයේ පන්දු 44ක් පමණයි. එවර ඉනිම හැර යන්නේ Hayley Matthews. කාව්‍යා කාවින්දි ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඇය  දැවී යන විට පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟන් ලකුණු 49ක් ලබා සිටියා.  

ඉන් අනතුරු ව කොදෙව් ඉනිමේ තවත් කඩුලු 2ක් ලකුණු 23ක් තුළ දැවී ගිය ද එතැන් සිට තරගය ජයග්‍රහණය කරා ගෙන යෑමට Shemaine Campbelle සහ Chinelle Henry සමත් වූවා. 

කොදෙව්වන් තම ඉනිමේ තවත් පන්දුවක් ඉතිරි කර ගනිමින් කඩුලු 4ක් දැවී ලකුණු 142ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරද්දී Shemaine Campbelle පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා සිටි අතර Chinelle Henry පන්දු 6කට මුහුණ දෙමින් ලකුණු 4ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී කාව්‍යා කාවින්දි ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත් තඅර සුගන්ධිකා කුමාරි කඩුල්ලක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 141 (20.0) චමරි අතපත්තු 38, හර්ෂිතා සමරවික්‍රම 28, කවීෂා දිල්හාරි 26, අමා කාංචනා නොදැවී 19, Aaliyah Alleyne 2/25, Afy Fletcher 2/25 

 

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී ලකුණු 142 (19.5) Stafanie Taylor 33, Hayley Matthews 49, Shemaine Campbelle නොදැවී 41, කාව්‍යා කාවින්දි 2/27 

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Shemaine Campbelle (බටහිර ඉන්දීය කොදෙව්)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – Hayley Matthews (බටහිර ඉන්දීය කොදෙව්)

මෙම තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<