2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරග ද්විත්වය වන අවසන් පූර්ව වටයේ තරග හෙට (27) පැවැත්විමට නියමිතයි. මෙම වටය නියෝජනය කිරීම සඳහා එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ප්‍රථම වරට ඇෆ්ගනිස්තානය සුදුසුකම් ලබා තිබෙනවා.
1 වැනි අවසන් පූර්ව තරගය
- ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර, ජුනි 27දා, උදෑසන 6.00, Tarouba හි දී.
2 වැනි අවසන් පූර්ව තරගය
- එංගලන්තය සහ ඉන්දියාව අතර, ජුනි 27දා, රාත්‍රී 8.00, Providence හි දී.
තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා එක් වෙන එක් එක් කණ්ඩායම්වල දක්ෂතා සම්බන්ධයෙන් ThePapare.com තැබෙන සටහනක් මේ.
ඇෆ්ගනිස්තානය
- නායකත්වය – Rashid Khan
- ප්‍රධාන පුහුණුකරු – Jonathan Trott (දකුණු අප්‍රිකාව)
- පාලනය – Afghanistan Cricket Board
2010 වසරේ සිට අවස්ථා 7ක දී විස්ස විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හා එක් ව සිටින ඇෆ්ගනිස්තානය මේ සා දීර්ඝ ගමණක් පැමිණි පළමු අවස්ථාව මෙයයි. ඔවුන් මීට පෙර 2016, 2021 සහ 2022 වසර ත්‍රිත්වයේ දී දෙවැනි වටයන් දක්වා පැමිණීමට සමත් වූවත් ඔවුන්ගේ ගමන එතැකින් නතර වූවා.
ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ මෙතෙක් ගමන් මඟ
ප්‍රතිවාදීන් | තරග ප්‍රතිඵල | |
1 | උගන්ඩාව | ඇෆ්ගනිස්තානයට ලකුණු 125ක ජයක්. |
2 | නවසීලන්තය | ඇෆ්ගනිස්තානයට ලකුණු 84ක ජයක්. |
3 | පැපුවා නිව් ගිනියාව | ඇෆ්ගනිස්තානයට කඩුලු 7ක ජයක්. |
4 | බටහිර ඉන්දීය කොදෙව් | බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 104ක ජයක්. |
සුපිරි 8 වටයේ තරග | ||
5 | ඉන්දියාව | ඉන්දියාවට ලකුණු 47ක ජයක්. |
6 | ඔස්ට්‍රේලියාව | ඇෆ්ගනිස්තානයට ලකුණු 21ක ජයක්. |
7 | බංග්ලාදේශය | ඇෆ්ගනිස්තානයට ලකුණු 8ක ජයක්. |
මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට තේරීපත් වූ කණ්ඩායම් අතුරින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි කණ්ඩායම් අතර ලාබාලත ම කණ්ඩායම ලෙසින් ද ඇෆ්ගනිස්තානය හැඳින් වෙනවා.
ඔවුන්ගේ මෙම ගමනේ පළමු වටයේ දී ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයෝ පරාජය කරමින් ගත් පිම්ම බොහෝ විචාරකයන් මවිත කරවන්නක් වූවා. එම තරගයේ දී නවසීලන්තය ලකුණු 75කට සීමා කරමින් දැක් වූ දක්ෂතා ව වඩාත් කතා බහට ලක් වූවා.
අනතුරු ව ඔවුන්ගේ වඩාත් ආකර්ශනීය පිම්ම වූයේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශයට එරෙහි ව ලත් ජයග්‍රහණයයි. මෙම තරගය හා එක් වෙන විට ඇෆ්ගනිස්තානයට කිසියම් හෝ ලෝක කුසලාන තරගාවලියක දී ප්‍රතිවාදී බංග්ලාදේශය කණ්ඩායමක් පරාජය කිරීමට හැකි ව තිබුණේ නැහැ. එසේ වූ තත්ත්වයකයි ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගන්නේ.
මේ දක්වා ඔවුන් පැමිණි ගමනේ දී පිතිකරුවන් ලෙසින් Rahmanullah Gurbaz තරග 7ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 281ක් ද සහ Ibrahim Zadran තරග 7ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 229ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා සිටිනවා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණුලාභින් අතර පළමු අසුන Gurbaz විසිනුත් 3 වැනි අසුන Zadran විසිනුත් වෙන්කර ගෙන තිබෙනවා.
ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ගෙන් Fazalhaq Farooqi කඩුලු 4කට වැඩි අවස්ථා 2ක් සමඟින් කඩුලු 16ක් ද සහ Rashid Khan කඩුලු 4කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 2ක් ද සමඟින් කඩුලු 14ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. Farooqi මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙසත් සහ Rashid එම ලැයිස්තුවේ තෙවැනියා ලෙසත් රැදී සිටිම විශේෂත්වයක්.
එංගලන්තය
- නායකත්වය – Jos Buttler
- ප්‍රධාන පුහුණුකරු – Matthew Mott (ඔස්ට්‍රේලියාව)
- පාලනය – England and Wales Cricket Board
පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වූ එංගලන්තය පිට පිට ම මෙම අදියර සඳහා සහභාගී වන සිවු වැනි අවස්ථාවයි මේ. මීට පෙර 2021 තරගාවලියේ දී ද අවසන් පූර්ව වටය දක්වාත් සහ 2016 වසරේ දී අනුශූරයන් ලෙසත් ඔවුන් දක්ෂතා දක්වා තිබෙනවා. ඊට අමතර ව 2010 ලෝක ශූරතාව ද හිමිකර ගත් අභිමානයත් සමඟයි ඔවුන් මෙම තරගාවලිය හා එක් වෙන්නේ.
එංගලන්ත කණ්ඩායමේ මෙතෙක් ගමන් මඟ
ප්‍රතිවාදීන් | තරග ප්‍රතිඵල | |
1 | ස්කොට්ලන්තය | තරගයේ විසඳුමක් නෑ. |
2 | ඔස්ට්‍රේලියාව | ඔස්ට්‍රේලියාවට ලකුණු 36ක ජයක්. |
3 | ඕමාන් | එංගලන්තයට කඩුලු 8ක ජයක්. |
4 | නැමීබියාව | එංගලන්තයට ලකුණු 41ක ජයක්. |
සුපිරි 8 වටයේ තරග | ||
5 | බටහිර ඉන්දීය කොදෙව් | එංගලන්තයට කඩුලු 8ක ජයක්. |
6 | දකුණු අප්‍රිකාව | දකුණු අප්‍රිකාවට ලකුණු 7ක ජයක්. |
7 | ඇමෙරිකාව | එංගලන්තයට කඩුලු 10ක ජයක්. |
එංගලන්ත කණ්ඩායම මෙතෙක් පැමිණි ගමනේ දී අවස්ථා 4ක දී ම හමුවෙන්නේ විස්සයි විස්ස පිටියේ අඩු තක්සේරුවක් ලද කණ්ඩායම්. ඔවුන් පළමු වටයේ දී ස්කොට්ලන්තය, ඕමානය සහ නැමීබියාව හා තරග කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ B කාණ්ඩයෙන් 2 වැනි ස්ථානය ලබා ගනිමින් සුපිරි 8 වටයට පිවිසෙනවා.
අනතුරු ව සුපිරි 8 වටයේ දී ද ඔවුන්ට පළමු වරට තරගාවලියට එක් ව මෙම කඩඉමට පිවිසි ඇමෙරිකානු කණ්ඩායම ද හමු වෙනවා. එම තරගය වෙද්දී ඔවුන් කොදෙව්වන්ට එරෙහි ව කඩුලු 8ක ජයග්‍රණයක් සහ දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 7ක පරාජයකට මුහුණ දීයි සිටියේ. කෙසේ වෙතත් තම තීරණාත්මක තරගයේ දී කඩුලු 10ක විශ්ෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙවරත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.
ඒ අනුව ඔවුන් මේ දක්වා පැවැති ලෝක කුසලාන තරගවල පිට පිට අවස්ථා 4ක දී මෙම වටය නියෝජනය කළ කණ්ඩායම් අතර මෙතෙක් ශ්‍රී ලංකාව සතුව තිබුණ වාර්තාව සම කිරීමට සමත් වෙනවා. ශ්‍රී ලංකාව 2009 වසරේ දී අනුශූරයන් ලෙසත්, 2010 වසරේ දී අවසන් පූර්ව වටයත්, 2012 වසරේ දී නැවත අනුශූරතාවත් සහ 2014 වසරේ දී ශූරයන් ලෙසත් තරගාවලියන් නිමා කර තිබුණා.
එංගලන්තය කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක් වූවන් අතර තරග 7ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 191ක් ලබා සිටින නායක Jos Buttler සහ තරග 7ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 183ක් ලබා සිටින Phil Salt ද පිතිකරු ලැයිස්තුවෙන් ඉදිරියෙන් සිටින අතර පන්දු යවන්නන් අතුරින් Jofra Archer සහ Adil Rashid කඩුලු 9ක් බැගින් ලබා ගනිමින් පෙරමුණ ගෙන සිටිනවා.
- ඉන්දියාව අපරාජිතව අවසන් පූර්ව වටයට
- ඇෆ්ගනිස්තානයට පෙරළිකාර ජයක්
- සත්කාරකයෝ එළියට
- එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි!
- ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් තරගාවලිය අවසන් කරයි
ඉන්දියාව
- නායකත්වය – Rohit Sharma
- ප්‍රධාන පුහුණුකරු – Rahul Dravid (ඉන්දියාව)
- පාලනය – Board of Control for Cricket in India
පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවසන් පූර්ව වටය දක්වා පැමිණි ඉන්දියාව මෙවර ද එම කඩඉමට පිවිසෙන්නේ මෙවර ලෝක ශූරතාවයේ හිමිකරුවන් වනු ඇති බවට වන වඩාත් විශ්වාසවන්ත කණ්ඩායම ලෙසයි.
ඔවුන් ඊට පෙර 2007 ආරම්භක ලෝක ශූරයන් ලෙස අභිශේක ලබා ඇති අතර අනතුරු ව 2014 වසරේ දී අනුශූරයන් ලෙසත් සහ 2016 වසරේ දී අවසන් පූර්ව වටය දක්වාත් පැමිණ තිබෙනවා. ඒ අනුව ඔවුන් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා 5ක දී මෙම කඩඉමට පිවිස ඇති අතර මෙවර තරගාවලියේ මෙතෙක් අපරාජිත කණ්ඩායම ලෙසින් ද මෙම අවස්ථාවට පිවිසෙනවා.
ඉන්දීය කණ්ඩායමේ මෙතෙක් ගමන් මඟ
ප්‍රතිවාදීන් | තරග ප්‍රතිළුල | |
1 | අයර්ලන්තය | ඉන්දියාවට කඩුලු 8ක ජයක්. |
2 | පාකිස්තානය | ඉන්දියාවට ලකුණු 6ක ජයක්. |
3 | ඇමෙරිකාව | ඉන්දියාවට කඩුලු 7ක ජයක්. |
4 | කැනඩාව | තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමෙනවා. |
සුපිරි 8 වටයේ තරග | ||
5 | ඇෆ්ගනිස්තානය | ඉන්දියාවට ලකුණු 47ක ජයක්. |
6 | බංග්ලාදේශය | ඉන්දියාවට ලකුණු 50ක ජයක්. |
7 | ඔස්ට්‍රේලියාව | ඉන්දියාවට ලකුණු 24ක ජයක්. |
ඉන්දියාව වෙනුවෙන් වඩාත් දක්ෂතා දැක් වූ පිතිකරු බවට පත් වීමට නායක Rohit Sharma සමත් වෙනවා. ඔහු තරග 6කට සහභාගී වෙමින් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 191ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඊට අමතර ව එම ලැයිස්තුව හා එක් වෙන්නේ තරග 6ක දී ලකුණු 167ක් ලබා සිටින Rishabh Pant.
කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා වී සිටින්නේ තරග 6ක දී කඩුලු 15ක් ලබා සිටින Arshdeep Singh. මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතර 2 වැනි අසුනට ද ඔහු හිමිකර ගන්නවා. ඔහුට අමතර ව Jasprit Bumrah කඩුලු 11ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙනවා.
දකුණු අප්‍රිකාව
- නායකත්වය – Aiden Markram
- ප්‍රධාන පුහුණුකරු – Rob Walter (දකුණු අප්‍රිකාව)
- පාලනය – Cricket South Africa
විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ මංගල තරගාවලියේ සිට ම සහභාගී වෙන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ මෙතෙක් මෙම තරගාවලියේ පැමිණ ඇති ඉහළ ම කඩඉම මේ. ඔවුන් මීට පෙර ද 2009 වසරේ දී සහ 2014 වසරේ දී ද මෙම කඩඉමට පිවිසියත් ඉන් එහාට ඔවුන්ගේ ගමනක් තිබුණේ නැහැ.
කෙසේ වෙතත් නිමා වූ සෑම ලෝක කුසලාන තරගාවලියක දී ම 2 වැනි වටය දක්වා හෝ ඊට ඉහළට පැමිණීමට සමත් වූ එංගලන්තය සහ ඉන්දියාව යන කණ්ඩායම් සමඟ ඔවුනුත් මෙවර ද ඊට එක් වෙන්නේ අපරාජිත කණ්ඩායමක් ලෙසින් වන අභිමානයත් සමඟයි.
දකුණු අප්‍රිකානුවන්ගේ මෙතෙක් ගමන් මඟ
ප්‍රතිවාදීන් | තරග ප්‍රතිඵල | |
1 | ශ්‍රී ලංකාව | දකුණු අප්‍රිකාවට කඩුලු 6ක ජයක්. |
2 | නෙදර්ලන්තය | දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්. |
3 | බංග්ලාදේශය | දකුණු අප්‍රිකාවට ලකුණු 4ක ජයක්. |
4 | නේපාලය | දකුණු අප්‍රිකාවට ලකුණක ජයක්. |
සුපිරි 8 වටයේ තරග | ||
5 | ඇමෙරිකාව | දකුණු අප්‍රිකාවට ලකුණු 18ක ජයක්. |
6 | එංගලන්තය | දකුණු අප්‍රිකාවට ලකුණු 7ක ජයක්. |
7 | බටහිර ඉන්දීය කොදෙව් | දකුණු අප්‍රිකාවට කඩුලු 3ක ජයක්. |
දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ පළමු වටයේ දී මුහුණ දුන් වඩාත් තරගකාරීම තරගය වූයේ නේපාලය සමඟ තරගයයි. එම තරගයේ දී අවසන් පන්දුවාරයේ දී නේපාලයේ ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 8ක් පමණයි. නමුත් එය ලකුණු 6කට සීමා කරමින් කඩුල්ලක් ද ජයග්‍රහණය කරමින් තරගාවලියේ අපරාජිත බව රැක ගැනීමට ද ඔවුන් සමත් වෙනවා.
එසේ එක් වූ ගමනේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්නේ Quinton de Kock. ඔහු තරග 7ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 199ක් ලබා ගන්නවා. ඊට අමතර ව David Miller කඩුලු 7ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 148ක් ලබා ගනිමින් එහි 2 වැනි ස්ථානයට පත් වෙනවා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම දක්ෂතා දැක් වූ පන්දු යවන්නා වූයේ තරග 7ක කඩුලු 11ක් දවා ගත් Anrich Nortje වන අතර එහි 2 වැනි ස්ථානය කඩුලු 10ක් ලබා ගත් Kagiso Rabada සතු වුණා.
ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<