ඉන්දියාව අපරාජිතව අවසන් පූර්ව වටයට

ICC Men's T20 World Cup

84

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආසන්නත ම වසරේ දී අවසන් පූර්ව වටය දක්වා පැමිණි ඉන්දීය ක්‍රීඩකයෝ මෙවර ද එම කඩඉමට පිවිසීමට සමත් වූවා. ඒ ප්‍රබල ඔස්ට්‍රේලියානුවන් ලකුණු 24කින් පරාජයට පත් කරමිනුයි.  

මෙම තරග ජයග්‍රහණයත් සමඟින් ඉන්දීය ක්‍රීඩකයෝ තව දුරටත් තම අපරාජිත බව රැක ගැනීමට ද සමත් වූවා.  

St Lucia හී Daren Sammy ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබා ගත්තා. මෙය ඉන්දීය කණ්ඩායම මෙවර තරගාවලියේ කණ්ඩායමකට එරෙහි ව ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

මෙම ඉනිමේ වැඩි කාර්ය භාරයක් ඉෂ්ඨ කළේ නායක Rohit Sharma. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 92ක් ලබා ගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස ලෝක කුසලාන තරග 45ක හොඳම ඉනිමයි.  

ඔහු මෙම ඉනිම පවත්වා ගෙන යන්නේ ආරම්භක කඩුල්ල ලකුණු 6 දී දැවී යෑමත් සමඟයි. කෙසේ වෙතත් ඔහු Rishabh Pant සමඟ එක් වෙමින්දින් 2 වැනි කඩුල්ලට පන්දු 32ක දී ලකුණු 87ක සබඳතාවක් එක් කළා. මේ ලකුණු අතුරින් Rishabh Pant වාර්තා කළේ ලකුණු 14ක් පමණයි.  

Rohit Sharma ට අමතර ව ඉන්දීය ඉනිමට ගෞරවනීය ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ දී Suryakumar Yadav පන්දු 16ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ද, Shivam Dube පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ද සහ Hardik Pandya පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී Mitchell Starc සහ Marcus Stoinis කඩුලු 2ක් බැගින් ද සහ Josh Hazlewood කඩුල්ලක් ද දවා ගත්තා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 181ක් පමණයි.  

එම ඉනිමට ද අර්ධ ශතකයක් එක් වූ අතර එහි හිමිකරුවා වූයේ Travis Head. පන්දු 43කට මුහුණ දුන් ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ හොඳම ඉනිමයි.  

ඊට අමතර ව Mitchell Marsh පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 81ක සබඳතාවක් ගොඩ නගනවා.  

අනෙකුත් පිතිකරුවන්ට සිතූ සේ යමක් කර ගැනීමට ඉඩ නොතැබීමට ඉන්දීය පන්දු යවන්නෝ පරිස්සම් වූවා. ඒ අනුව ආරම්භක පන්දු යවන්නා වූ Arshdeep Singh ලකුණු 37කට කඩුලු 3ක් දවා ගන්නවා. ඊට අමතර ව Kuldeep Yadav කඩුලු 2ක් ද සහ Axar Patel සහ  Jasprit Bumrah කඩුල්ලක් බැගින් දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ඉන්දියාව – කඩුලු 5ක් දැවී 205 (20.0) Rohit Sharma 92, Suryakumar Yadav 31, Shivam Dube 28, Hardik Pandya 27, Mitchell Starc 2/45, Marcus Stoinis 2/56 

 

ඔස්ට්‍රේලියාව – කඩුලු 7ක් දැවී 181 (20.0) Travis Head 76, Mitchell Marsh 37, Glenn Maxwell 20, Mitchell Marsh 3/27, Kuldeep Yadav 2/24 

 

ඉන්දියාවට ලකුණු 24ක ජයක්.  

  • තරගයේ වීරයා – Rohit Sharma (ඉන්දියාව) 

ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<