කවීෂා සහ විශ්මි වේලාසනින් ම තරගාවලියට ජය ගෙනේ

West Indies Women tour of Sri Lanka 2024

78
West Indies Women tour of Sri Lanka 2024

කවීෂා දිල්හාරි ගේ තුන් ඉරියව් දක්ෂතාත් සහ විශ්මි ගුණරත්න ගේ පිතිකරණ දක්ෂතාත් මත සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (18) පැවැති එක්දින තරගයෙන් කඩුලු 5ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.

ICC Women’s එක්දින ශූරතාවලියට ද අයත් තරග 3කින් යුත් මෙම තරගාවලියේ තවත් තරගයක් තිබිය දී ම 2-0ක් ලෙසින් තරගාවලිය ජය ගැනීමට ද ඒ සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.

ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමකට එරෙහි ව එක්දින තරගාවලියක් ජයගන්නේ වසර 16කට පසුව වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව ඊට පෙර කොදෙව් කණ්ඩායමකට එරෙහි ව තරගාවලියක ජයග්‍රහණයක් වාර්තා කර තිබුණේ 2008 වසරේ දී මෙරට පැවැති තරගාවලියේ දී ලත් තරග 2-1ක් ලෙසින් ලත් ජයග්‍රහණයයි.

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගන්නේ තම විශ්වාසවන්ත ම පිතිකාරිනිය මෙන් ම ස්තීර නායිකාව ද වූ Hayley Matthews කණ්ඩායමට එක් කර නොගනිමිනුයි. ඇය වෙනුවෙන් ඔවුන්ගේ විශ්වාස වී තිබුණේ 23 හැවිරිදි වියේ පසුවෙන Shabika Gajnabi වෙතයි.

ශ්‍රී ලංකාව ද අද තරගයට එක් වුණේ එක් වෙනස්කමක් සිදු කරමිනුයි. ඒ ඉනෝකා රණවීර වෙනුවට 22 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන සචිනි නිසංසලා එක් කර ගනිමිනුයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, සචිනි නිසංසලා.

Shemaine Campbelle (නායිකාව), Rashada Williams (කඩුලු රකින්නිය), Shabika Gajnabi ,  Stafanie Taylor, Chedean Nation, Chinelle Henry, Aaliyah Alleyne, Afy Fletcher, Zaida James, Karishma Ramharack, Shamilia Connell.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 92ක් ලබා ගත්තා. ඔවුන්ගේ ඉනිම 31.0 වැනි පන්දුවාරයේ දී අවසන් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වීම කැපී පෙණුනා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 22 වැනි පන්දුවාරයේ දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 93ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් අතුරින් වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාව වූයේ ආරම්භක පිතිකාරිනිය වූ Rashada Williams. ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24ක්. මේ සඳහා ඇයට පන්දු 62ක් වැය කිරීමට සිදු වූ අතර හතරේ පහර 4ක් ද ඊට ඇතුලත් වුනා.

ඇයට අමතර ව Aaliyah Alleyne සහ Afy Fletcher ලකුණු 16 බැගින් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දඟ පන්දු යවන කවීෂා දිල්හාරි ලකුණු 20කට කඩුලු 4ක් දවා ගනිමින් තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඇයගේ ඊට පෙර හොඳම දක්ෂතාව වී තිබුණේ පෙර තරගයේ දී ලකුණු 41කට ලබා ගත් කඩුලු 3යි.

ඇයට අමතර ව චමරි අතපත්තු පන්දු වාර 2ක් තුළ ලකුණු 8කට කඩුලු 2ක් ද සහ අචිනි කුලසූරිය ලකුණු 16කට කඩුලු 2ක් ද දවා ගත්තා. ඊට අමතර ව සුගන්ධිකා කුමාරි ද එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.

ලකුණු 92ක් වූ ඔවුන්ගේ ඉනිම හඹායෑමට සුපුරුදු ලෙසින් ම විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු ඉනිම ආරම්භ කළ ද එය පැවැතියේ පන්දු 18ක් දක්වා පමණයි. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 11ක් වෙද්දී චමරි අතපත්තු ලකුණු 1කට දැවී ගියා.

අනතුරු ව විශ්මි ගුණරත්න සමඟින් හර්ෂිතා සමරවික්‍රම පිටියට එක් වූව ද තවත් ලකුණු 10ක් පමණක් ඉනිමට එක් වෙද්දී 2 වැනි කඩුල්ල ද දැවී ගියා. එවර කොදෙව් ක්‍රීඩිකාවන්ට ගොදුරු වූයේ හර්ෂිතා සමරවික්‍රම යි. පන්දු 9කට මුහුණ දුන්න ද ඇයට එකඳු හෝ ලකුණක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

එලෙස නාය යන ශ්‍රී ලංකා ඉනිමට එතැන් සිට එක් වූයේ පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ කවීෂා දිල්හාරි යි. ඇය විශ්මි ගුණරත්න හා එක් වෙමින් 2 වැනි කඩුල්ලට ලකුණු 58ක් එක් කළා. ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දු 64ක් පමණයි.

විශ්මි ගුණරත්න පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා. 18 හැවිරිදි වියේ පසුවෙන විශ්මි ගුණරත්න මේ ලබා ගත්තේ තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 2 වැනි අර්ධ ශතකයයි.

විශ්මි ගුණරත්නගේ දැවී යෑමත් සමඟින් පෙර තරගයේ දී ලකුණු අතර සිටි හසිනි පෙරේරා පිටියට පිවිසිය ද ඇය ගේ මෙම ඉනිම එක් ලකුණකට පමණක් සීමා වූවා.

ඒ සමඟ ම ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රහණයට ලකුණු 3ක් මෙපිටින් සිටිය දී කවිෂා දිල්හාරිට ද ඉනිම හැර යන්නට සිදු වූවා. ඇය ඉනිමෙ 5 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.

තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය ලබා ගනිද්දී නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 6ක් ද සහ අනුශ්කා සංජීවනී නොදැවී ලකුණු 2ක් ද ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී Karishma Ramharack ලකුණු 29කට කඩුලු 2ක් දවා ගනිද්දී Zaida James, Shamilia Connell සහ Aaliyah Alleyne කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 92 (31.0) Rashada Williams 24, අචිනි කුලසූරිය 2/16, කවිෂා දිල්හාරි 4/20, චමරි අතපත්තු 2/08

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුලු 5ක් දැවී 93 (21.2) විශ්මි ගුණරත්න 50, කවීෂා දිල්හාරි 28, Karishma Ramharack 2/29

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලියේ 3 වැනි සහ අවසන් එක්දින තරගය මේ මස 21 වැනිදා හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.

මෙම තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<