Dialog පාසල් රග්බි ලීගයේ පළමු සතිඅන්තය සාර්ථකව අවසන් වෙයි

Dialog Schools Rugby League 2024

143
Dialog schools rugby league 2024 week 01

පාසල් රග්බි උණුසුමේ ආරම්භය සනිටුහන් කරමින් 2024 Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය පසුගිය සති අන්තයේ දී ආරම්භ වුනා. 

මෙහි දී තරගාවලියේ පළමු තරගය සාන්ත ජෝසප් විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වුණු අතර, එහි දී ලකුණු 27-22ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට විද්‍යාර්ථ ක්‍රීඩකයින් විසින් සමත් වුනා. 

මීට අමතරව තවත් තරග හතක් මෙම ගෙවුණු සති අන්තයේ දී පැවැත්වුණු අතර මෙම තරග සියල්ලේ විස්තර පහතින් දැක්වෙනවා. 

සාන්ත ජෝසප් විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය  

(Havelock ක්‍රීඩාංගණයේ දී) 

තරගාවලියේ පළමු ලකුණ ජෝසප් ක්‍රීඩක Ivano White විසින් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් වාර්තා කිරීමට සමත් වූ අතර, තරගාවලියේ පළමු උත්සාහක දිනුම විද්‍යාර්ථ විද්‍යාලය වෙනුවෙන් තරුෂ පියරත්න විසින් වාර්තා කිරීමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය නිමා වන විට දෙපිළම ලකුණු 17 බැගින් ලබා ගනිමින් සම මට්ටමේ රැඳී සිටි අතර, දෙවැනි අර්ධයේ දී ගයාන් පෙරේරා විසින් විද්‍යාර්ථ විද්‍යාලය වෙනුවෙන් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟින් තරගයේ වාසිය විද්‍යාර්ථය වෙත හැරුණා. 

තරගයේ දී දෙපිළෙන් ම උත්සාහක දිනුම් ත්‍රිත්වය බැගින් වාර්තා වූ අතර, තරගයේ අවසන් ලකුණු තත්වය 22-27ක් ලෙස සටහන් වුනා. 

විද්‍යාර්ථ විද්‍යාලය 27 (3T, 3C, 2P) – සාන්ත ජෝසප් විද්‍යාලය 22 (3T, 2C, 1P) 

තරගයේ වීරයා රුසිත් තමෝද්‍ය (විද්‍යාර්ථ විද්‍යාලය) 


සාන්ත පීතර විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය  

(බම්බලපිටියේ දී) 

ගියවර ශූරයින් වූ සාන්ත පීතර විද්‍යාලය විසින් මෙවරත් තරගාවලියට විශිෂ්ට ආරම්භයක් ලබා ගනිමින්, ලීගයේ නවක සාමාජිකයකු ලෙස එක් වූ තර්ස්ටන් විද්‍යාලයට දැවැන්ත පරාජයක් අත් කර දීමට මෙහි දී සමත් වුනා. 

තරගය ආරම්භයේ පටන් ම සම්පූර්ණයෙන්ම පාහේ සාන්ත පීතර ක්‍රීඩකයින්ට නතුව තිබූ අතර, පළමු අර්ධය තුළ ඔවුන් උත්සාහක දිනුම් 9ක් ද සමඟින් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වුනා. 

එතෙකින් ද නොනැවතුණු ඔවුන් දෙවැනි අර්ධය තුළ තවත් උත්සාහක දිනුම් 9ක් වාර්තා කිරීමට සමත් වුනේ සිය ලකුණු සංඛ්‍යාව 112ක් දක්වා ඉහළ නංවා ගනිමිනුයි. නමුත් අනෙක් අන්තයෙන් තර්ස්ටන් ක්‍රීඩකයින් මෙහි දී එකඳු ලකුණක් හෝ රැස් කිරීමට සමත් නොවීම විශේෂත්වයක්. 

සාන්ත පීතර විද්‍යාලය 112 (18T, 11C) – තර්ස්ටන් විද්‍යාලය 0 

තරගයේ වීරයා විශේන්ක සිල්වා (සාන්ත පීතර විද්‍යාලය) 

මෙම තරගයේ දී සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් විශේන්ක සහ පසිඳු බණ්ඩාර උත්සාහක දිනුම් පහ බැගින් වාර්තා කිරීමට සමත් වීමත් විශේෂ සිදුවීමක්. 


ඉසිපතන විද්‍යාලය සහ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය  

(Havelock හිදී) 

දේශීය පාසල් රග්බි පිටියේ තවත් කැපී පෙනෙන පාසලක් වන ඉසිපතන විද්‍යාලය ද තරගාවලියේ සිය මංගල තරගයෙන් ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව පහසු ජයක් කරා යෑමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධයේ දී ඉසිපතනය ලකුණු 14ක් ලබා ගන්නා අතරේ, සුමංගල ක්‍රීඩකයින් ද ලකුණු 03ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුනා. 

කෙසේ වෙතත් දෙවැනි අර්ධයේ දී නම් සුමංගල ක්‍රීඩකයින් එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ. මේ අතරේ ඉසිපතන ක්‍රීඩකයින් තවත් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුනේ තරගයෙන් පහසු ජයක් හිමි කරගන්නා අතරේ දීයි. 

මෙහි දී ඉසිපතන ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 8ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් Shaakib Zumri උත්සාහක දිනුම් ත්‍රිත්වයකින් දායක වුනා. 

ඉසිපතන විද්‍යාලය 50 (8T, 5C) – ශ්‍රී සුමංගල විද්‍යාලය 03 (1P) 

තරගයේ වීරයා – Shaakib Zumri (ඉසිපතන විද්‍යාලය) 

රාජකීය විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය  

(Royal Complex හිදී) 

තවත් පාසල් රග්බි බල කණු දෙකක් වන රාජකීය සහ කිංග්ස්වුඩ් විද්‍යාල අතර පැවැත්වුණු තරගයේ දී රාජකීයයන් විසින් රාජකීය සටනක නිරත වෙමින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුනා. 

මෙම තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 27-05ක් ලෙස රාජකීයයින් පෙරමුණ ගැනීමට සමත් වූ අතර, තරගය නිමා වන විට රාජකීයයන් විසින් ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

මෙහි දී රාජකීය විද්‍යාලය වෙනුවෙන් දිදුල ජයසූරිය සහ නසීර් මොහොමඩ් උත්සාහක දිනුම් දෙක බැගින් වාර්තා කළා. 

රාජකීය විද්‍යාලය 60 (10T, 5C) – කිංග්ස්වුඩ් විද්‍යාලය 05 (1T) 

තරගයේ වීරයා යෙහාන් වීරසූරිය (රාජකීය විද්‍යාලය) 


වෙස්ලි විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතර  

(මරදානේ දී) 

මෙම තරගයේ දී දෙපිළෙන් ම ජයග්‍රහණය වෙනුවෙන් ඉහළ උත්සාහයක් යොමු වූ නමුත් අවසානයේ එහි වැඩි වාඩි වෙස්ලි විද්‍යාලය සතු වුනා. 

මෙහි දී තරගයේ පළමු අර්ධය තුළ වෙස්ලි ක්‍රීඩකයින් ලකුණු 08ක් වාර්තා කිරීමට සමත් වුනත් සහිරා ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීමට සමත් වුනේ නැහැ. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ සහිරා කණ්ඩායම ලකුණු 14ක් වාර්තා කරමින් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළත්, එම අර්ධය තුළ වෙස්ලි විදුහලින් ද තවත් ලකුණු 13ක් වාර්තා වීම නිසා සහිරා ක්‍රීඩකයින්ගේ උත්සාහය අපතේ ගියා. 

වෙස්ලි විද්‍යාලය 21 (3T, 3P) – සහිරා විද්‍යාලය (2T, 2C) 

තරගයේ වීරයා කවීෂ දිල්හාර (වෙස්ලි විද්‍යාලය) 


ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය  

(පල්ලෙකැලේ දී) 

Canon R S ද සේරම් ශූරතාව වෙනුවෙන් දෙවිදුහල් අතර පැවැත්වුන මෙම තරගයෙන් පහසු ජයක් ලබා ගත් ත්‍රිත්ව ක්‍රීඩකයින් තවත් වසරක් සඳහා ශූරතාව තමන් සන්තකයේ රඳවා තබා ගැනීමට සමත් වුනා 

තරගයේ පළමු අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් ලකුණු 07ක් වාර්තා කරන අතරේ, සාන්ත තෝමස් ක්‍රීඩකයින් විසින් ලකුණු 08ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුනා. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟින් තෝමසුවන් සම්පූර්ණයෙන්ම අසරණ කිරීමට සමත් වූ ත්‍රිත්ව විද්‍යාලය තරගයේ තීරණය වෙනස් කිරීමට සමත් වුනා. 

ත්‍රිත්ව විද්‍යාලය 31 (4T, 4C, 1DG) – සාන්ත තෝමස් විද්‍යාලය 08 (1T, 1P) 

තරගයේ වීරයා ශාන් අල්තාෆ් (ත්‍රිත්ව විද්‍යාලය) 


ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය  

(Longdon පෙදෙසේ දී) 

මෙම තරගයේ පළමු අර්ධය නිමා වන විට ඩී.එස් ක්‍රීඩකයින් ලකුණු 20ක් ලබා ගන්නා අතරේ ධර්මරාජ ක්‍රීඩකයින් විසින් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා. 

එමෙන්ම තරගයේ දෙවැනි අර්ධය ද සම්පූර්ණයෙන්ම පාහේ ඩී.එස්. ක්‍රීඩකයින්ට නතු වූ අතර, එහි දී ඔවුන් තවත් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුනත් ධර්මරාජ ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ තවත් ලකුණු 05ක් පමණයි. 

ඩී.එස්.සේනානායක විද්‍යාලය 44 (6T, 4C, 2P) – ධර්මරාජ විද්‍යාලය 12 (2T, 1C) 

තරගයේ වීරයා ජනිඳු විජේරත්න (ඩී.එස්.සේනානායක විද්‍යාලය) 


සාන්ත අන්තෝනි විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය 

මෙම තරගයේ දී ලකුණු 27 – 14ක ජයග්‍රහණයක් ලබා ගැනීමට විද්‍යා විද්‍යාලය විසින් සමත් වුනා. 

තරගයේ වීරයා මෙතුක මින්දුල (විද්‍යා විද්‍යාලය) 

දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<