චමෝද් සඳරු තුන් ඉරියව් දක්ෂතා දක්වයි

Major Club 50 Over Tournament 2024

181
Major Club 50 Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවැති NCC සහ Chilaw Marians කණ්ඩායම් අතර තරගයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වීමට Chilaw Marians කණ්ඩායමේ චමොද් සඳරු සමත් වූවා.

කොළඹ NCC ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ දී චමෝද් සඳරු පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා.

ඉන් නොනැවතුණ ඔහු දකුණතින් පිට දඟ පන්දු යවමින් ප්‍රතිවාදී කඩුලු 4ක් ලකුණු 34ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට ද සමත් වෙනවා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග 30ක හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.

නිමා වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Chilaw Marians කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 172ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි NCC කණ්ඩායම ලකුණු 143කට සීමා කිරීමට ප්‍රතිවාදී Chilaw Marians පන්දු යවන්නෝ සමත් වූවා.

Chilaw Marians ඉනිමේ දී චමෝද් ට අමතර ව ආරම්භක පිතිකරු අභිශේක් ලියනාරච්චි පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.

එම ඉනිමේ ලකුණු 85කට කඩුලු 7ක් දැවී ගොස් තිබිය දී වැඩි වගකීමකින් යුතුව පන්දුවට පහර දුන් චමෝද් සඳරු, හේෂාන් හෙට්ටිආරච්චි සමඟ එක් වෙමින් 8 වැනි කඩුල්ලට ලකුණු 80ක සබඳතාවක් එක් කළා. හේෂාන් හෙට්ටිආරච්චි පන්දු 56කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැතිව ලකුණු 17ක් පමණක් ලබා ගනිමින් ඊට දායකත්වය දැක් වීම කැපී පෙණුනා.

කඩුලු දවා ගැනීමේ දී ලසිත් ඇඹුල්දෙණිය සහ ලහිරු කුමාර කඩුලු 3ක් බැගින් දවා ගනිද්දී චාමික කරුණාරත්න කඩුලු 2ක් ද කමිල් මිෂාර සහ අශේන් ඩැනියෙල් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සහන් ආරච්චිගේ. ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා. ඊට අමතර ව කමිල් මිෂාර ද පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චමෝද් සඳරුට අමතර ව අමිත පෙරේරා සහ රජින්ද පුංචිහේවා කඩුලු 2ක් බැගින් ද ඉරුෂ්ක තිමිර කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • A කාණ්ඩය

Chilaw Marians CC – සියලුම දෙනා දැවී 172 (45.2) අභිශේක් ලියනාරච්චි 39, චමෝද් සඳරු 66, චාමික කරුණාරත්න 2/30, ලසිත් ඇඹුල්දෙණිය 3/40, ලහිරු කුමාර 3/13

NCC – සියලුම දෙනා දැවී 143 (33.2) ලහිරු උදාර 22, කමිල් මිෂාර 28, සහන් ආරච්චිගේ 35, චාමික ගුණසේකර 20, රජින්ද පුංචිහේවා 2/36, අමිත පෙරේරා 2/36, චමෝද් සඳරු 4/34

Chilaw Marians කණ්ඩායමට ලකුණු 29ක ජයක්.

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<