විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්තය අද (14) සමත් වූවා. ඒ ඕමාන කණ්ඩායමට එරෙහි ව කඩුලු 8ක වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.
Antigua හී Sir Vivian Richards ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕමානය සියලු ම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 47ක් පමණයි.
එය ඕමාන විස්සයි විස්ස තරග ඉතිහාසයේ අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය තරගය බවට පත් වූවා. ඔවුන් ඊට පෙර අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගොස් තිබුණේ 2022 වසරේ දී නේපාලය ඉදිරියේ ලකුණු 78කටයි.
එමෙන් ම ලෝක කුසලාන තරග ඉතිහාසයේ එංගලන්ත කණ්ඩායමක් විසින් අඩු ම ලකුණු ප්‍රමාණයකට ගොදුරු කර ගත් ඉනිම ලෙසින් ද එය ඉතිහාසයට එක් වූවා. ඊට පෙර එංගලන්තය මෙම දක්ෂතාව කර තිබුණේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි. ඒ 2021 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 55කට සීමා කරමිනුයි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයන්ට මෙම ඉලක්කය සපුරා ගැනීමට වැය කළේ කඩුලු 2ක් දැවී පන්දු 19ක් පමණක් වීම විශේෂත්වයක්. ඒ අනුව එංගලන්තය, තවත් පන්දු 101ක් ඉතිරි කර ගත් අතර එය විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වැඩි ම පන්දු ප්‍රමාණයක් ඉතිරි කර ගනිමින් ජයගත් කණ්ඩායම ලෙසින් ඉතිහාසයට එක් වූවා.
ඊට පෙර එම වාර්තාව සතු ව තිබුණේ ශ්‍රී ලංකාවටයි. ඔවුන් 2014 වසරේ දී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 90ක් ඉතිරි කර ගනිමින් මෙම දක්ෂතාව දක්වා තිබුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Shoaib Khan. ඔහු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගත්තා. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට යෑමට ඉඩ ලැබුණේ නැහැ.
එම ඉඩ අහුරාලීමේ දී පෙරමුණ ගත්තේ Adil Rashid, Jofra Archer සහ Mark Wood යන තුන් කට්ටුවයි. ඒ අතුරින් Adil Rashid ලකුණු 11කට කඩුලු 4ක් දවා ගත් අතර Jofra Archer සහ Mark Wood ලකුණු 12ක් පමණක් බැගින් ලබා දෙමින් කඩුලු 2ක් බැගින් දවා ගත්තා.
මේ අතුරින් Mark Wood අද තම තරග 32ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 50 වැනි සැමරුම් කඩුල්ල දවා ගැනීමට සමත් වූවා.
- බාබඩෝස් කල්ලාගේ ලෝක කුසලාන මෙහෙයුම
- හිටපු ඕස්ට්‍රේලියානු නායක Michael Clarke 2024 LPL සමඟ එක් වෙයි!
- විශ්ව ප්‍රනාන්දුට එංගලන්තයෙන් ඇරයුමක්
- ක්‍රීඩකයින් 41 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තු ලබයි
- නවීඩ් නවාස් නැවතත් බංග්ලාදේශයට!
එංගලන්ත පිළිතුරු ඉනිම Phil Salt සහ නායක Jos Buttler විසින් ආරම්භ කළ ද ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 12ක් පමණයි. පළමු පන්දු 2 දී හයේ පහර 2ක් එල්ල කළ Phil Salt 3 වැනි පන්දුවේ දී තම ඉනිම අහිමි කර ගත්තා.
අනතුරු ව පිටියට පිවිසි Will Jacks ගේ ඉනිම ද ලකුණු 5කට සීමා වූවා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව Jonny Bairstow පිටියට පිවිසි අතර ඒ වෙද්දී එංගලන්ත ඉනිම ලකුණු 20 නතර වී තිබුණා.
ඊට පසු පන්දුවාරයේ දී Jos Buttler විසින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කරමින් එංගලන්ත ඉනිම පන්දුවාර 3ක් අවසානයේ දී කඩුලු 2ක් දැවී ලකුණු 46ක් බවට පත් කළා.
අනතුරුව පන්දු වාරයේ පළමු පන්දුවේ දී Jonny Bairstow විසින් එල්ල කරන ලද හතරේ පහරත් සමඟින් තරගය එංගලන්තයට ජයග්‍රහණය හිමිකර දෙමින් අවසන් වූවා.
ඒ වෙද්දී Jos Buttler පන්දු 8ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද සහ Jonny Bairstow පන්දු 2ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 8ක් ද ලබා සිටියා.
කඩුලු ලබා ගැනීමේ දී Kaleemullah සහ Bilal Khan කඩුල්ල බැගින් දවා ගත්තා.
මෙම තරගය සඳහා සම්පූර්ණ වැය වූයේ පන්දු 99ක් පමණක් වන අතර එය විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ අඩු ම පන්දු ප්‍රමාණයකින් අවසන් වූ තරග අතර 2 වැනි ස්ථානයට පත් වූවා.
එහි පළමු ස්ථානයේ රැදී සිටින්නේ 2014 වසරේ දී පන්දු 93කින් අවසන් වූ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගයයි.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඕමානය – සියලුම දෙනා දැවී 47 (13.2) Shoaib Khan 11, Jofra Archer 3/12, Mark Wood 3/12, Adil Rashid 4/11
එංගලන්තය – කඩුලු 2ක් දැවී 50 (3.1) Jos Buttler නොදැවී 24
එංගලන්තයට කඩුලු 8ක ජයක්.
තරගයේ වීරයා – Adil Rashid (එංගලන්තය)
ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම් අතුරින් මේ වෙද්දී 3 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට එංගලන්තය සමත් වූවා. ඔවුන් තරග 3කට එක් වෙමින් ප්‍රසාද ලකුණු 3ක් ලබා ගනිමින් මෙම ස්ථානය තහවුරු කර ගනිද්දී අපරාජිතව සිටින ඔස්ට්‍රේලියාව තරග 3කට සහභාගී වෙමින් ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින් 1 වැනි ස්ථානයේත් සහ තරග 3-2ක් ජයගත් ස්කොට්ලන්තය ප්‍රසාද ලකුණු 5ක් ලබා ගනිමින් 2 වැනි ස්ථානයේත් පසු වෙනවා.
එංගලන්තයට පසු පසින් තරග 3කට සහභාගී වෙමින් එක් තරගයක් ජයග්‍රහණයක කරමින් ප්‍රසාද ලකුණු 2ක් ලබා ගත් නැමීබියාව ද සහ මේ දක්වා තමන් සහභාගී වූ තරග 4 ම පරාජය වෙමින් අවසන් කළ ඕමානය අවසන් ස්ථානයේත් පසු වෙනවා.
ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.