කොදෙව් අභියෝගයේ මුර සෙබළියෝ

173
West Indies Women tour of Sri Lanka 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අප්‍රේල් මාසයේ ක්‍රීඩිකාව ලෙසින් නම් කෙරුණ 26 වැනි වියේ පසුවෙන ආරම්භක දකුණත් පිතිකාරිනී Hayley Matthews ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මේ මස 15 වැනිදා සිට ආරම්භ වේ.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ මෙරට දී එක්දින ජාත්‍යන්තර තරග ත්‍රිත්වයකට මෙන් ම විස්සයි විස්ස තරග ත්‍රිත්වයකට ද සහභාගී වීමට නියමිතයි.

තරග කාලසටහන..,

  • පළමු එක්දින තරගය, හම්බන්තොට, ජූනි 15 වැනිදා.
  • දෙවැනි එක්දින තරගය, හම්බන්තොට, ජූනි 18 වැනිදා.
  • තෙවැනි එක්දින තරගය, හම්බන්තොට, ජූනි 21 වැනිදා.
  • පළමු විස්සයි විස්ස තරගය, හම්බන්තොට, ජූනි 24 වැනිදා.
  • දෙවැනි විස්සයි විස්ස තරගය, හම්බන්තොට, ජූනි 26 වැනිදා.
  • තෙවැනි විස්ස විස්ස තරගය, හම්බන්තොට, ජූනි 28 වැනිදා.

මෙහි දී දෙරට අතර පළමුවෙන් ම පැවැත්වෙන එක් දින තරගාවලිය ICC Women’s ශූරතාවලියේ තරග ලෙසින් පැවැත්වෙනවා. මෙම තරගාවලියේ දී මේ වෙද්දී බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ 7 වැනි ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකාව රැදී සිටින්නේ 8 වැනි ස්ථානයේයි.

  Teams Mat Won Lost Tie N/R Point NRR
1 ඔස්ට්‍රෙලියාව 18 13 3 0 2 28 2.002
2 එංගලන්තය 18 11 5 0 2 24 1.273
3 දකුණු අප්‍රිකාව 18 11 6 0 1 23 0.671
4 නවසීලන්තය 18 8 8 0 2 18 0.392
5 පාකිස්තානය 24 8 15 0 1 17 -0.613
6 ඉන්දියාව 9 7 1 1 0 15 0.948
7 බටහිර ඉන්දීය කොදෙව් 15 6 7 0 2 14 -0.776
8 ශ්‍රී ලංකාව 18 5 9 0 4 14 -1.021
9 බංග්ලාදේශය 18 4 9 1 4 13 -1.178
10 අයර්ලන්තය 12 0 10 0 2 2 -2.097

කොදෙව් ක්‍රීඩිකාවෝ මේ දක්වා ශ්‍රී ලංකාව සමඟින් එක්දින ජාත්‍යන්තර තරග 184කට මුහුණ දී ඇති අතර එම තරග අතුරින් තරග 61ක ජයග්‍රහණ ඔවුන් සතු කරගෙන තිබෙනවා. තරග 115ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙන අතර ඉතිරි තරග 8 නිමා වී තිබෙන්නේ විසඳුමකින් තොරවූ තරග ලෙසයි.

එමෙන් ම දෙරට ක්‍රීඩිකාවෝ මීට පෙර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 146කට සහභාගී වී ඇති අතර ඉන් තරග 91ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව ද සහ තරග 51ක ජයග්‍රහණ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ ද ලබා තිබෙනවා. තරග 4ක් විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසයි සැලකෙන්නේ.

සංචාරක ක්‍රීඩිකාවෝ මෙරට පිවිසෙන්නේ නිමා වූ අප්‍රේල් මාසයේ දී පාකිස්තාන තරග සංචාරයකට ද එක් වෙමිනුයි. එම තරගාවලියේ දී ඔවුන් තරග 3-0ක් ලෙසින් සත්කාරක ක්‍රීඩිකාවෝ පරාජය කිරීමට සමත් වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ද අවසන් වරට තරගාවලියකට එක් වෙන්නේ පසුගිය අප්‍රේල් මාසයේ දී වන අතර එහි දී දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 3කින් යුත් තරගාවලිය 1-1ක් ලෙසින් සම ව අවසන් කෙරෙනවා.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙරට ක්‍රීඩිකාවෝ ද්විත්ව තරගාවලියක් සඳහා අවසන් වරට එකිනෙකා හමු වී ඇත්තේ 2017 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි දීයි. එහි දී 3-0ක තරග පරාජයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වෙනවා.

කෙසේ වෙතත් අවසන් වරට දෙරට ක්‍රීඩිකාවෝ හමුවෙන්නේ 2021 වසරේ දී ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී යි. නමුත් එම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමෙනවා.

ඒ අනුව දෙරට ක්‍රීඩිකාවෝ එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා එකිනෙකා හමු වෙන්නේ වසර 7කට පසුවයි.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම: Hayley Matthews (නායිකාව), Shemaine Campbelle (උප නායිකාව), Aaliyah Alleyne, Shamilia Connell, Afy Fletcher, Cherry Ann Fraser, Shabika Gajnabi, Chinelle Henry, Zaida James, Qiana Joseph, Chedean Nation, Karishma Ramharack, Stafanie Taylor, Rashada Williams, Kate Wilmott.

ශ්‍රී ලංකාවට අභියෝගයක් විය හැකි ක්‍රීඩිකාවෝ..,

Hayley Matthews

එක්දින ජාත්‍යන්තර වර්ථමාන ක්‍රිකට් පිටියේ කාන්තා ක්‍රීඩිකාවන් අතර ඉහළින් රැදී සිටින Hayley Matthews මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 83කට සහභාගී වෙමින් ශතක 6ක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 2396ක් සහ කඩුලු 100ක් ලබා සිටින ක්‍රීඩිකාවක්.

ඇය අවසන් වරට සහභාගී වූ පාකිස්තානය හා සමග තරගාවලියේ දී ශතක 2ක් සමඟින් ලකුණු 325ක් ලබා ගන්නේ 162.5ක සාමාන්‍යයක් රඳවා ගනිමිනුයි. එම ඉනිම් අතර ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන 141ක ද රැදී තිබෙනවා.

එමෙන් ම විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ද දක්ෂතා දක්වන ඇය මේ වන විට තරග 93කට සහභාගී වෙමින් ශතක 2ක් සහ අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 2231ක් සහ කඩුලු 98ක් ලබා සිටිනවා. ඇය තමන් මුහුණ දුන් අවසන් ඉනිම් 3 දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 205ක් ලබා ගැනීමට ද සමත් වෙනවා.

Stafanie Taylor

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වඩාත් භයානක ක්‍රීඩිකාව වන්නේ 33 හැවිරිදි වියේ පසුවෙන Stafanie Taylor. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග පිටියේ තරග 157කට මුහුණ දෙමින් ශතක 7ක් සහ අර්ධ ශතක 41ක් සමඟින් ලකුණු 5641ක් ද සහ කඩුලු 155ක් ද ලබා ඇති අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ තරග 118කට එක් වෙමින් අර්ධ ශතක 22ක් සමඟින් ලකුණු 3266ක් ද සහ කඩුලු 98ක් ද ලබා සිටිනවා.

ඇය කොදෙව්වන් වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග පිටියේ මෙන් ම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ද වැඩිම ලකුණුලාභිනී පිතිකාරිනිය ලෙසින් ද වැජඹෙනවා.

 Shemaine Campbelle

මෙරට පිවිසි කණ්ඩායමේ උප නායිකාව ලෙස නම් කර තිබෙන්නේ Shemaine Campbelle. 31 හැවිරිදි වියේ පසු වෙන ඇය තවත් තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙසයි සැලකෙන්නේ.

මේ දක්වා ඇය එක්දින ජාත්‍යන්තර තරග 111කට ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1550ක් සහ කඩුලු 21ක් ලබා සිටිනවා. විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ඇයගේ දක්ෂතාව වන්නේ තරග 130ක දී ලබා සිටින ලකුණු 1201ක සහ කඩුලු 34යි.

Afy Fletcher

මෙරට සංචාරයේ නිතර ක්‍රීඩිකාවන් අතුරින් වඩාත් ම විශ්වාසය රැදී දඟ පන්දු යවන්නිය වන්නේ 37 හැවිරිදි වියේ පසුවෙන Afy Fletcher. ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර කඩුලු 83ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 65ක් ලබා සිටිනවා.

Shamilia Connell

එමෙන් ම වේග පන්දු යවන්නියන් අතුරින් 31 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් වේග පන්දු යවන Shamilia Connell හට හිමි වෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර කඩුලු 49ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 51ක් දවා ගනිමින් කොදෙව් කණ්ඩායම හා රැදී සිටිනවා.

Chinelle Henry

කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතුරින් Chinelle Henry ට ද සුවිශේෂි ස්ථානක් හිමි වෙනවා. ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 475ක් සහ කඩුලු 32ක් ද විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 397ක් සහ කඩුලු 17ක් ද ලබා සිටිනවා.

මේ සියලු දෙනා සමඟින් කොදෙව් කාන්තා කණ්ඩායමේ ආසන්නත ම තරගාවලිය වූ පාකිස්තාන තරගාවලියට නම් නොකරන ලද Shabika Gajnabi ද මෙම කණ්ඩායමට ඇතුලත් වෙනවා. 23 හැවිරිදි වියේ පසුවෙන ඇය පසුගිය වසරේ දී පාකිස්තාන A කණ්ඩායම සමඟින් පැවැති තරගාවලියේ දී ලකුණු අතර සිටි ක්‍රීඩිකාවක්.

එමෙන් ම වේග පන්දු යවන Kate Wilmott පළමු වරට කොදෙව් කාන්තා කණ්ඩායම සඳහා නම් කර ඇති අතර ඇයත් සමඟ Chinelle Henry, Chedean Nation, Stafanie Taylor, and Rashada Williams යන ජැමෙයිකානු ක්‍රීඩිකාවෝ ද මෙම කණ්ඩායම සඳහා එක් කර තිබෙනවා.

මෙම තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<