වැස්ස ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඈත් කරයි

ICC Men's T20 World Cup

167

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර මෙරට වේලාවෙන් අද (12) උදෑසන පැවැත්වීමට නියමිත ව තිබූ ලෝක කුසලාන තරගාවලියේ 23 වැනි තරගය අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අතහැර දැමීමට සිදු වූවා.

Lauderhill හී Central Broward Regional ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමෙන්නේ එකඳු හෝ පන්දුවක් නොයැවූ තරගයක් ලෙසයි.

පිටියේ විනිසුවරුවන් විසින් අවස්ථා කිහිපයක දී පිටිය පරීක්ෂා කළ ද අවසන් අවස්ථාවේ ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය හෝ නොදමාම තරගය අතහැර දැමීමට ඔවුන් කටයුතු කළා.

මෙම ක්‍රීඩාංගණයේ දී එක්දින ජාත්‍යන්තර තරගයක් අවසන් වරට පවත්වා ඇත්තේ පසුගිය අගෝස්තුවේ දී වන අතර ඊට පසුව පැවැත්වීමට යෝජිතව තිබූණේ මෙම තරගයයි. ඊට  වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් දෙරටේ කණ්ඩායම් 2 අතරේ ප්‍රසාද ලකුණ බැගින් බෙදී ගියා. එය නේපාලයට හිතකර අවසානයක් වූව ද ශ්‍රී ලංකාවට නම් එය එතරම් ම යහපත් අවසානයක් වූයේ නැහැ.

ඊට හේතු වන්නේ ශ්‍රී ලංකාවට මෙම තරගය අතිශය වැදගත් වූ තරගයක් වූ නිසායි. තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමේ යම්තම් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබුණා.

මෙම තරගය අවසාන වීමත් සමඟින් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන D කාණ්ඩය සෑදී තිබුණේ මේ ආකාරයෙන්.

Teams Mat Won Lost Tied N/R Points NRR
1 දකුණු අප්‍රිකාව 3 3 0 0 0 6 0.603
2 බංග්ලාදේශය 2 1 1 0 0 2 0.075
3 නෙදර්ලන්තය 2 1 1 0 0 2 0.024
4 නේපාලය 2 0 1 0 1 1 -0.539
5 ශ්‍රී ලංකාව 3 0 2 0 1 1 -0.777

මෙම ප්‍රසාද ලකුණු පුවරුව අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි කණ්ඩායම් 2 අතරට පිවිසීමට නම් මහා ප්‍රාතිහාර්යයක් කළ යුතුයි. එම ගමනේ දී ඔවුන්ට ඉතිරිව ඇත්තේ නෙදර්ලන්තය සමඟ මේ මස 16 වැනිදා පැවැත්වෙන තරගය පමණයි.

එම තරගයේ දී ශ්‍රී ලංකාව විශාල ලකුණු ප්‍රමාණයකට ගොස් ඉහළ දළ ලකුණු වේගයක් පවත්වාගනිමින් තරගය ජයගත යුතු මෙන් ම 2 වැනි ස්ථානයේ පසුවෙන බංග්ලාදේශය තම ඉතිරි තරග 2 දී කරනා කියන දේ දෙස ද බලා සිටිය යුතුයි.

ඔවුන්ට නෙදර්ලන්තය සහ නේපාලය යන තරග ද්විත්වය මේ වන විට ඉතිරිව ඇති අතර ප්‍රසාද ලකුණු පුවරුවේ 1 වැනි ස්ථානයේ පසුවෙන දකුණු අප්‍රිකාවට තවත් ඉතිරි ව ඇත්තේ නේපාලය සමඟ තරගය පමණයි.

ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<