කොදෙව්වෝ වාර්තාගත ජයක් ලබා ගනී

ICC Men's T20 World Cup

238

වේග පන්දු යවන්නන් වැඩි පිරිසකගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දඟ පන්දු යවන Akeal Hosein එරට විස්සයි විස්ස ලෝක කුසලාන තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් උගන්ඩාව පරාජය කිරීමට පෙරමුණ ගත්තා.   

Guyana හී Providence ක්‍රීඩාංගණයේ අද (09) පැවැති උගන්ඩාව හා සමඟ පැවැති තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 134කින් ජයග්‍රහණය කළ අතර එය මෙවර තරගාවලියේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම් අතර ප්‍රමුඛ ස්ථානයට පත් තරගය බවට ද පත් වූවා.   

මීට පෙර උගන්ඩාව ලකුණු 125කින් පරාජය කළ ඇෆ්ගනිස්තානය මෙම ලැයිස්තුවේ පළමු අසුන වෙන්කර ගෙන සිටි අතර එම ජයග්‍රහණත් සමඟ මේ වන විට සුසැදි C කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ඇෆ්ගනිස්තානය ද සහ 2 වැනි ස්ථානය බටහිර ඉන්දීය කොදෙව්වන් ද සතු වුනා.  

31 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන Akeal Hosein මෙම තරගයේ දී ලකුණු 11කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ තරග 52ක් වන විස්සයි විස්ස තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා. ඊට පෙර ඔහුගේ හොඳම පන්දු යැවීම වී තිබුණේ 2022 වසරේ දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 30කට දවා ලූ කඩුලු 4යි.   

අද පැවැති තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ පළමු වෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 173ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි උගන්ඩාව ලකුණු 39කට සීමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත් වූවා.   

එම ලකුණු ප්‍රමාණය විස්සයි විස්ස ලෝක කුසලාන තරගවල අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය කණ්ඩායම් අතර පළමු අසුනේ සම සම ව අසුන් ගන්නා දුර්වල ඉනිමක් බවට ද පත් වුනා. එහි ඔවුන් හා සමව අසුන්ගෙන සිටින්නේ නෙදර්ලන්තයයි. ඔවුන් 2014 වසරේ දී ශ්‍රී ලංකාව ඉදිරියේ මෙම ලකුණු ප්‍රමාණයට ම දැවී ගොස් මේ ලැයිස්තුව හා එක් වුනා.  

බටහිර ඉන්දීය කොදෙව්වෝ පෑ මෙම දක්ෂතාව එරට විස්සයි විස්ස තරග දිවියේ කණ්ඩායමක් දවා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුවා. ඊට පෙර ඔවුන් එම දක්ෂතාව දක්වා තිබුණේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි. ඒ 2010 වසරේ දී ලකුණු 68කට දවාලමිනුයි.  

අද පැවැති තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් ඉනිම ආරම්භ කළ Brandon King (13) සහ Johnson Charles පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා. Johnson Charles පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත් අතර එය එම ඉනිමේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. 

ඔහුට අමතර ව ඉනිම අවසන් වන විට Andre Russell පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා.  

ඊට අමතරව නායක Rovman Powell පන්දු 18ක දී ලකුණු 23, Sherfane Rutherford පන්දු 16ක දී ලකුණු 22 ද සහ Nicholas Pooran පන්දු 16ක දී ලකුණු 22 ද ලබා ගනිමින් කොදෙව් ඉනිම වර්ණවත් කළා.  

පන්දු යැවීමේ දී Brian Masaba ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත් අතර Alpesh Ramjani, Dinesh Nakrani සහ Cosmas Kyewuta කඩුල්ල බැගින් දවා ගත්තා. 

පිළිතුරු උගන්ඩා ඉනිම සම්පූර්ණයෙන් ම විනාශ කළ Akeal Hosein තම කඩුලු දඩයම පළමු පන්දුවාරයේ සිට ම ආරම්භ කළා. Alzarri Joseph කඩුලු 2ක් දවා ගනිමින් ද සහ Andre Russell, Gudakesh Motie සහ Romario Shepherd කඩුල්ල බැගින් දවා ගනිමින් ඊට කදිම සහයෝගයක් ලබා දුන්නා.  

ඔවුන්ගේ මෙම කඩුලු දඩයම හමුවේ ඉලක්කම් 2 ලකුණු ප්‍රමාණයක් තම කණ්ඩායම වෙනුවෙන් එක් කළේ Juma Miyagi පමණයි. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 13ක් ලබා ගත්තා.  

උගන්ඩාව මෙවර තරගාවලියේ දී මීට පෙර ඇෆ්ගනිස්තානය හා පැවැති තරගයේ දී ද ලකුණු 58කට දැවී ගිය අතර මෙම තරගයේ දී ලබා ගත් ලකුණු 39 මෙවර තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 5ක් දැවී 173 (20.0) Johnson Charles 44, Nicholas Pooran 22, Rovman Powell 23, Sherfane Rutherford 22, Andre Russell නොදැවී 30, Brian Masaba 2/31 

 

උගන්ඩාව – සියලුම දෙනා දැවී 39 (12.0) Juma Miyagi නොදැවී 13, Akeal Hosein 5/11, Alzarri Joseph 2/06 

 

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 134ක ජයක්.  

තරගයේ වීරයා – Akeal Hosein (බටහිර ඉන්දීය කොදෙව්) 

ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<