ඔස්ට්‍රේලියාව තවත් පියවරක් ඉදිරියට

ICC Men's T20 World Cup

102

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ඊයේ (08) මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ දී නිමා වූ අතර එම තරගයෙන් එංගලන්තයට එරෙහි ව ලකුණු 36ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූවා.  

මෙම ජයග්‍රහණයත් සමඟින් ඔස්ට්‍රේලියාව, තරග 2ක් අවසානයේ ප්‍රසාද ලකුණු පුවරුවේ B කාණ්ඩයෙන් ඉදිරියට පැමිණි අතර ගිය වර ශූරයන් වූ එංගලන්තය ප්‍රසාද ලකුණු පුවරුවේ සිවු වැනි ස්ථානයට ඇද වැටුණා.  

මෙම තරගයේ දී ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෝ හතරේ පහර 14ක් සහ හයේ පහර 13ක් ද සහ එංගලන්ත ක්‍රීඩකයෝ හතරේ පහර 12ක් සහ හයේ පහර 8ක් ද එල්ල කිරීම කැපී පෙණුනා. ඒ අනුව ඔවුන් දෙපිරිස විසින් හතරේ පහර 26ක් ද සහ හයේ පහර 21ක් ද මෙම තරගයේ දී එල්ල කළා.   

Barbados හී Kensington Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 201ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් එංගලන්ත ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් පමණයි.  

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට අවස්ථාව ලද ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවෝ සෑම කෙනෙක්  ම ලකුණු අතරට පිවිසෙමින් මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගත් කණ්ඩායම බවට පත් වීමට දායකත්වය දැක් වූවා.   

එහි දී වැඩිම ලකුණු ලබා ගැනීමේ ගෞරවය හිමි වූයේ ආරම්භක පිතිකරු David Warner වෙතයි. ඔහු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා. අනෙක් පසින් ඉනිම ආරම්භ කළ Travis Head පන්දු 18කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 70ක් එක් කිරීම කැපී පෙණුනා.  

ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් අනතුරු ව නායක Mitchell Marsh ද ලකුණු අතරට පිවිසෙමින් පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා. ඔහු තෙවැනි කඩුල්ලට Glenn Maxwell සමඟ එක් වෙමින් පන්දු 49ක දී ලකුණු 65ක සබඳතාවක් එක් කළා. Glenn Maxwell පන්දු 25කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.  

අනතුරු ව Marcus Stoinis ද පන්දු 17කට හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියා ලකුණු පුවරුව සැරසුවා.  

කඩුලු දවා ගැනීමේ දී Chris Jordan ලකුණු 44කට කඩුලු 2ක් දවා ගත් අතර Liam Livingstone, Moeen Ali, Jofra Archer සහ Adil Rashid කඩුල්ල බැගින් බෙදා ගත්තා. 

දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත ඉනිම ද කදිම ආරම්භයකින් යුතු වූවා. ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ Phil Salt සහ නායක Jos Buttler පළමු කඩුල්ල සඳහා ලකුණු 73ක සබඳතාවක් එක් කරන්නේ පන්දු 43ක් පමණක් වැය කරමිනුයි. 

එහි දී පළමුවෙන් ඉනිම හැර යන Phil Salt පන්දු 23කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා. ඔහු දැවී ගොස් යැවුණ 10 වැනි පන්දුවේ දී Jos Buttler ඉනිම හැර යන්නේ පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා ගනිමිනුයි.  

එම කඩුලු 2 දවා ගැනීමේ ගෞරවය වමතින් දඟ පන්දු යවන Adam Zampa සතු වුනා.  

පන්දුවාරයකට ලකුණු 10කට ආසන්න වේගයක් රඳවාගෙන ආ එංගලන්ත ඉනිමේ එම ප්‍රහාරාත්මක වේගය මේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ගේ දැවී යෑමත් සමඟ අඩාල වූනා. නැවත එංගලන්ත ඉනිම කලඑළි වෙන්නේ මැදි පෙළින් පිටියට පිවිසි Moeen Ali සහ Harry Brook විසින් දැක් වූ දක්ෂතාත් සමඟිනුයි. නමුත් එම දක්ෂතා තරගය ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමාණවත් වූවේ නැහැ.  

Moeen Ali පන්දු 15කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ද සහ Harry Brook පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී Pat Cummins සහ Adam Zampa කඩුලු 2ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූ අතර  Marcus Stoinis සහ Josh Hazlewood අතරේ ද කඩුල්ල බැගින් බෙදී ගියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ඔස්ට්‍රේලියාව – කඩුලු 7ක් දැවී 201 (20.0)  Travis Head 34, David Warner 39, Mitchell Marsh 35, Glenn Maxwell 28, Marcus Stoinis 30, Chris Jordan 2/44 

 

එංගලන්තය – කඩුලු 6ක් දැවී 165 (20.0) Phil Salt 37, Jos Buttler 42, Moeen Ali 25, Harry Brook නොදැවී 20, Pat Cummins 2/23, Adam Zampa 2/28 

 

ඔස්ට්‍රේලියාවට ලකුණු 36ක ජයග්‍රහණයක්.  

තරගයේ වීරයා – Adam Zampa (ඔස්ට්‍රේලියාව ) 

ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<