පාකිස්තාන සුපිරි තරු අසරණ කළ ඉන්දීය සූපවේදියා

ICC Men's T20 Cricket World Cup 2024

178
ICC Men's T20 Cricket World Cup 2024

පසුගිය දා පැවැත්වුණු ඇමරිකා එක්සත් ජනපදය සහ පාකිස්තානය අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගයේ වීරයා බවට පත් වුනේ ඉන්දියානුවෙක්.

එහෙම කියපු ගමන් ම ඔබට හිතෙනවා ඇති ඇමරිකාවයි, පාකිස්තානයයි අතරට ඉන්දියානුවෙක් එන්නේ කොහොමද කියලා!

ඒ ඉන්දියානුවාට තියෙනවා ඔබව පුදුමයට පත් කරවන්න පුළුවන් විදිහේ කතාවක්. ඔහු නමින් Monank Patel.

මේ වෙද්දී වයස අවුරුදු 31ක් වෙන Monank උපත ලබන්නේ ඉන්දියාවේ ගුජරාටයේ Anand කියන ප්‍රදේශයේ. ඔහු තමන්ගේ යොවුන් අවදියේ දී ගුජරාටය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒ අතරේ ඔහුට වත්මන් ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයින් වම Jasprit Bumrah වගේම Axar Patel වගේ ක්‍රීඩකයින් සමඟ එකට ක්‍රීඩා කරන්න පවා අවස්ථාව හිමි වෙනවා. ඒත් දැන් ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙක් විදිහට ඇමරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. මනුෂ්‍ය දෛවය මොන තරම් ඉක්මනින් වෙනස් වෙනවා ද කියලා ඔබට Monank Patel හරහා කියා දෙන්නයි ThePapare අපි අද සූදානම් වෙන්නේ.

සුපිරි පන්දු බළඇණිය අසරණයි

පසුගිය ජුනි 06 වැනි දා පාකිස්තානයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණය කරා ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම රැගෙන යාමේ මූලිකත්වය ගත් Monank විසින් පන්දු 38කින් ලකුණු 50ක් වාර්තා කළේ Mohammad Aamir, Shaheen Shah Afridi, Naseem Shah, Haris Rauf සහ Shadab Khan වගේ ලෝ පතල පන්දු යවන්නන්ට එරෙහිව හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් එල්ල කරමිනුයි.

මේ තරගයේ ජයග්‍රහණයත් සමඟ ඇමරිකාව දැන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මීළඟ වටයට සුදුසුකම් ලබන්න ඔන්න මෙන්න අවස්ථාවක් හිමි කරගෙනයි ඉන්නේ. ඔවුන් එහෙම තත්වයකට එන්නේ 2022 ලෝක අනුශූරයින්ව පරාජය කරමින් වීම විශේෂත්වයක්.

මේ ජයග්‍රහණයෙන් පසුව ඇමරිකානු නායක Monank හරි ලස්සන කතාවක් කියනවා.

අපි මේ තරගය නියමිත කාලය ඇතුළත අවසන් කළ යුතුව තිබුණා, අපි සුපිරි පන්දුවාරයක් වෙත නොයා යුතුව තිබුණා.

පාකිස්තානය වගේ ප්‍රබල රරක් පරාජය කිරීමෙන් පසුවත් ඒ තරම් විශ්වසනීය විදිහේ ප්‍රකාශයක් කරන්න තරම් Monankගේ හිත ශක්තිමත් වුනේ ඔහු වසර දහයකට අධික කාලයක් තිස්සේ විඳපු අනේකවිද දුක් ගැහැට නිසා කියලා විශ්වාස කරන්න පුළුවන්.

ඉන්දියාව හැර යාම

ලිපියේ පෙර සඳහන් කළා සේම Monank Patel ගුජරාටය වෙනුවෙන් යෞවනයෙක් විදිහට ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒ වගේම ඔහු පිතිකරුවෙක් විදිහට කැපී පෙනන දක්ෂතා දක්වන්නත් සමත් වෙනවා. ඒත් ඔහුට කුමක් හෝ හේතුවක් නිසා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට ඉදිරියට යන්න තියෙන අවස්ථාව ප්‍රමාණය සීමා වෙනවා. මේ වෙද්දීත් ඔහුගේ පවුලේ බහුතරයක් ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කිරීම නිසා Monank තමන්ගේ ජීවිත කතාව ඇමරිකාවට අරගෙන එන්න තීරණය කරනවා.

ඔහු මේ තීරණය ගන්නේ 2014 වර්ෂයේ දී. ඒ වෙද්දී ඔහුට වසය අවුරුදු 21ක් පමණයි වුනේ. Monankගේ ඇමරිකානු සංක්‍රමණය ඔහුට හැම අතින් ම සර්ව සම්පූර්ණ විදිහේ ප්‍රතිඵල ගෙනැත් දුන්නේ නැහැ. ඔහුට ක්‍රීඩකයෙක් විදිහට වගේම, සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහටත් ඇමරිකාවේ ස්ථාවර වෙන්න සෑහෙන්න කාලයක් මහන්සි වෙන්න සිදු වෙනවා.

මේ අතරේ තමයි ඔහු විසින් තමන්ගේ ම කියලා අවන්හලක් විවෘත කරන්නේ.

Teriyaki Madness

ඇමරිකාවට සංක්‍රමණය වෙලා වසර දෙකකින් පමණ පසුව ඔහු Teriyaki Madness නමින් චීන කෑම අවන්හලක් විවෘත කරන්න Monank Patel තීරණය කරනවා. ඔහුගේ මේ තීරණය අතිශය සාර්ථක එකක් නම් වුනේ නැහැ. ඇමරිකාව වගේ රටක අලුත් ව්‍යාපාරයක් අලුත් නමකින් ඉදිරියට අරගෙන යනවා කියන්නේ මොන තරම් අමාරු දෙයක් ද කියලා Monank මේ කාල සීමාව තුළ වටහා ගන්න ඇති. ඒ වගේම මේ අතරේ දී Monankගේ මවට මාරාන්තික පිළිකාවක් වැළඳිලා තියෙන බවත් සොයාගන්නවා.

අම්මා තමයි හැම දේ ම!

අම්මාගේ අසනීපයත් එක්කම Monank තමන්ගේ ව්‍යාපාරය විකුණලා දාන්න තීරණය කරනවා, ඒ වගේම ඒ විකිණීමෙන් ලැබුණු මුදලත් ඇතුළුව ඩොලර් 3000ක් විතරක් ඇතිව ඔහු තමන්ගේ අම්මත් එක්ක නැවතත් New Jersey වෙත එන්න තීරණය කරනවා.

හැබැයි මේ කිසිම අවස්ථාවක ඔහු ක්‍රිකට් ක්‍රීඩාව නම් නතර කළේ නැහැ. සූපවේදියෙක් විදිහට තමන්ගේ අවන්හලේ ම පැය 10-12 වැඩ කළත් ඔහු ක්‍රීඩාව සමඟ තිබුණු බැඳීම නොකඩවා පවත්වාගෙන ගියා.

ඒ නිසාම ඔහුට 2018 වර්ෂයේ දී ඇමරිකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම 2019 වර්ෂය වෙද්දී ඔහු ඇමරිකානු ජාතික කණ්ඩායමටත් ඇතුළත් වෙන්න සමත් වෙනවා. ඒත් මේ කාලයේ දී Monankගේ මව ක්‍රමයෙන් මරණයට ළං වෙන්න පටන් ගන්නවා.

දිගටම කැපවීමෙන් ක්‍රීඩා කරන්න”

ඇය තමන්ගේ මරණ මංචකයේ දී පවා Monankගේ ක්‍රීඩාවට ආශීර්වාද කරන්නේ ඒ විදිහට.

මට මගේ අම්මා එක්ක විශේෂ බැඳීමක් තිබුණා. ඇය තමයි මගේ ජීවිතයේ සහ ක්‍රිකට්වල සෑම දෙයක් වෙනුවෙන් ම සිටි කෙනා. මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න හේතුව තමයි ඇය.

Monank තමන්ගේ අම්මා ගැන මතක් කරන්නේ ඒ විදිහට.

නොකඩවා පුහුණුවීමේ

Monankට ඇමරිකානු ජාතික කණ්ඩායම සමඟ එකතු වෙන්න ලැබුණා කියලා හැම දෙයක් ම සම්පූර්ණ වුනේ නැහැ. ඔහුට කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් දිනා ගැනීම වෙනුවෙන් මහන්සි වෙන්න සිදු වුනා.

2019 වර්ෂයේ දී ජාතික කණ්ඩායමට එකතු වුනත් ඔහුට කණ්ඩායමේ ස්ථාවර වෙන්න කාලයක් ගත වෙනවා. මේ අතරවාරයේ ඔහුට නේපාල ක්‍රීඩක Sandeep Lamichhane වත් මුණ ගැහෙනවා. Monank සහ Lamichhane අතර පළමු මුණ ගැසීමේ දී Monank, Lamichhane ඉදිරියේ අසරණ වෙනවා. මේ අසරණ වීම Monankගේ හිතට දැඩි බලපෑමක් එල්ල කරනවා. ඒ නිසාම ඔහු නැවතත් Sandeepට මුහුණ දීම වෙනුවෙන් දැඩි මහන්සියකින් යුතුව පුහුණුවීම් වල නිරතවීම ආරම්භ කරන්න පටන් ගන්නවා.

Monank විසින් දිනකට පැය දෙකක්, සතියකට දින හයක් බැගින් මාස කිහිපයක් එක දිගටම පිතිකරණ පුහුණුවීම්වල නිරත වෙනවා. ඒ අතරේ ම Sandeep Lamichhane ගැන විශේෂ නිරීක්ෂණයක් කිරීම වෙනුවෙන් එකදිගට පැය හයක් (ගුවන් ගමනක දී) Lamichhaneගේ පන්දුයැවීම් විශ්ලේෂණය කළ බවයි ඔහු පසු කාලයක කියන්නේ. ඒ වගේම ඔහුගේ මේ කැපවීම ඔහුට සාර්ථක ප්‍රතිඵල ගෙනත් දුන්නා. ඔහු නේපාලයට එරෙහිව, Lamichhaneගේ පන්දු යැවීමට එරෙහිව පසු කාලීනව විශිෂ්ට ශතකයක් වාර්තා කළා වගේම, මේ වෙද්දී ඔහු එක්දින ශතක දෙකක හිමි කරුවෙක්.

පුබුදු දසනායකගේ දිරි ගැන්වීම

2018 වර්ෂයේ දී Monank ගැන ඇමරිකානු ක්‍රිකට් වෙතින් විශේෂ අවධානයක් යොමු වෙද්දී, එවකට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදිහට කටයුතු කළේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක පුබුදු දසනායක මහතා විසින්. ඔහු Monankගේ පිතිකරණ දක්ෂතා සහිත වීඩියෝ දර්ශන කිහිපයකින් පසුව Monankට අවස්ථාවක් දෙන්න තීරණය කරනවා. ඒ වගේම ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් Monank පැකිළෙන්නේ නැහැ.

පුබුදු විසින් නව ක්‍රීඩකයෙක් වුන Monank වෙනුවෙන් තබපු විශ්වාසයේ ප්‍රතිඵල ඊට වසර හයකට පමණ පසුව පාකිස්තානයට විඳින්න සිදු වෙනවා.

සමහර විට අනාගතයේ දී මේ කතාව මීටත් වඩා දීර්ඝ තැනකින් නතර වෙන්නත් ඉඩ තියෙනවා.

මොකද ඉන්දියාවේ ඉපදිලා, අවස්ථා නැතිව ඇමරිකාවට ගිහින් සූපවේදියෙක් විදිහට රැකියාවක් කරමින් ක්‍රිකට් ක්‍රීඩා කළ Monank අද ඇමරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදිහට, ඉන්දියාවේ සදාකාලික ප්‍රතිවාදියා වෙන පාකිස්තානය පරාජය කරන්න සමත් වෙනවා නම්, ඉදිරියේ දී Monankගේ දෛවය කොතැනකට කැරකේවිද කියලා කිසිම කෙනෙක්ට පැහැදිලි අනුමානයක එන්න බැරි බව සහතිකයි.

දිනෙන් දින උණුසුම් වන විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<