ඇමරිකාවෙන් විශිෂ්ට හඹායාමක්; කොදෙව්වන්ට දැවැන්ත තර්ජනයක්!

ICC T20 Cricket World Cup 2024

255
ICC T20 Cricket World Cup 2024

2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ කරමින් පැවැත්වුණු කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඇමරිකාව අද (02) උදෑසන සමත් වුනා.

මෙවර ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දෙන දෙරටින් එකක් වන ඇමරිකාවේ Dallas හිදි අද උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ඇමරිකාව සතු වූ අතර, ඔවුන්ගේ ආරාධනයෙන් කැනඩාව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා.

මෙහි දී කැනඩාව වෙනුවෙන් ආරම්භක පිතිකරු Navneet Dhaliwal විසින් පන්දු 44කින් ලකුණු 61ක් කබා ගන්නා අතරේ, Nicholas Kirtonගේ පිත්තෙන් ලකුණු 51ක් ඉනිමට එක් වුනා.

මීට අමතරව Shreyas Movva පන්දු 16ක් තුළ ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුනා. නියමිත පන්දුවාර 20 අවසන් වන විට කැනඩාව කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 194ක් ලබා ගැනීමට සමත් වුනේ ඇමරිකාවට දැවැන්ත අභියෝගයක් එල්ල කරමිනුයි.

කැනඩාවෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඇමරිකානු ඉනිමේ මුල් කඩුලු 2ක ලකුණු 42ක් තුළ බිඳ වැටුණු නමුත්, ඉන් පසුව පිටියට පිවිසි Andries Gous සහ Aaron Jones විසින් ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 131ක දැවැන්ත සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී Gous විසින් පන්දු 46ක් තුළ ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වූ අතර, අනෙක් පසින් පිතිකරණයේ යෙදුණු Jones විසින් තරගය නිමා වන තෙක්ම නොදැවී කඩුල්ලේ රැඳෙමින් පන්දු 40කින් වේගවත් ලකුණු 94ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. ඔහුගේ මෙම ප්‍රවේගකාරී ඉනිමට හතරේ පහර හතරක් සහ දැවැන්ත හයේ පහර 10ක් අන්තර්ගත වූ අතර, ඔහුගේ මෙම ඉනිමත් සමඟින් ම ඇමරිකාව විසින් අදාළ ඉලක්කය පන්දුවාර 17 පන්දු 4ක් පමණක් වැය කරමින් හඹා යාමට සමත් වුනා.

  • කැනඩාව – 194/5 (20) Navneet Dhaliwal 61, Nicholas Kirton 51,Harmeet Singh 1/27
  • ඇමරිකා එක්සත් ජනපදය – 197/3 (17.4) Aaron Jones 94*, Andries Gous 65,Dilon Heyliger 1/19

තරගයේ වීරයා – Aaron Jones

මේ අතර තරගාවලියේ දෙවන තරගය අද (02) රාත්‍රියේ අනෙක් සත්කාරක කණ්ඩායම වන බටහිර ඉන්දීය කොදෙව් සහ පැපුවා නිව් ගිනියාව අතර පැවැත්වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පැපුවා නිව් ගිනියාව විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 136ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් Sese Bauගේ පිත්තෙන් ලකුණු 50ක් එක් වුනා. මේ අතර නිව් ගිනියා ඉනිම අඩාළ කිරීමේ පෙරමුණ ගත් Andre Russell සහ Alzarri Joshep අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

නිව් ගිනියාවෙන් ලද ඉලක්කය බැලූ බැල්මට ම කොදෙව්වන්ට ඉතා පහසු හඹා යාමක් බව පෙනෙන්නට තිබුනත්, නිව් ගිනියා පන්දු යවන්නන් ඉතා විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් නම් දැරූ කොදෙව් පිතිකරුවන් පාලනය කිරීමට පටන් ගත්තා. මේ නිසා කොදෙව්වන්ට නියමිත ඉලක්කය හඹා යාම සඳහා පන්දුවාර 19ක් වැය වූ අතර, එහි දී කොදෙව් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Roston Chase ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වුනා. මේ අතරේ නිව් ගිනියාව වෙනුවෙන් Assad Vala කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

  • පැපුවා නිව් ගිනියාව – 146/8 (20) Sese Bau 50, Andre Russell 2/19
  • බටහිර ඉන්දීය කොදෙව් – 137/5 (19) Roston Chase 42, Brandon King 34, Assad Vala 2/28

තරගයේ වීරයා – Roston Chase 

2024 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<