නුවන් ඉන්දික ලෝකඩ පදක්කමක් කරා යයි!

World Para Athletic Championship 2024

124
World Para Athletic Championship 2024

ජපානයේ Kobe හිදි පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට නුවන් ඉන්දික ගමගේ විසින් අද (20) සමත් වුනා.

T44 මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ඉන්දික විසින් අද උදෑසන සිය ඉසව්වේ මූලික වටයට ඉදිරිපත් වූ අතර, එහි දී ඔහු විසින් තත්පර 11.75ක කාලයක් සමඟින් සිය තරග වටයේ පළමු ස්ථානය හිමි කර ගත්තා.

ඒ අනුව අද සවස පැවැත්වුණු අවසන් මහා තරගයට ඔහු සුදුසුකම් ලබා ගත් අතර, එම තරගයේ දී ඔහු තත්පර 11.83ක කාලයක් වාර්තා කරමින් තෙවන ස්ථානයට පත් වුනා.

තත්පර 11.77ක කාලයක් වාර්තා කළ මැලේසියානු ක්‍රීඩකයා විසින් මෙම ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, නුවන් ඉන්දික විසින් අවසන් මහා තරගයට සුදුසුකම් ලද කාලයට ළඟා වීමට සමත් වූවා නම් ඔහුට පහසුවෙන් ම ඉසව්වේ රන් පදක්කම වෙත පියමැනීමට හැකියාව තිබුණා.

නුවන්ගේ මෙම පදක්කමත් සමඟින් ශ්‍රී ලංකාව මෙවර ශූරතාවලියේ පදක්කම් සටහනට ද නම ඇතුළත් කර ගැනීමට සමත් වූ අතර, මේ වන විට එක් ලෝකඩ පදක්කමක් සමඟින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 43 වැනි ස්ථානයේ රැඳෙනවා.

තරගාවලියේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳ ව තොරතුරු සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<