ශ්‍රී ලංකාවට අවාසනාවන්ත පරාජයක්!

Central Asian Volleyball Championship 2024

218
Central Asian Volleyball Championship 2024

පාකිස්තානයේ පැවැත්වෙන Central Asian Volleyball Championship 2024 තරගාවලියේ මූලික වටයේ දී තමන් සහභාගී වූ අවසන් තරගයෙන් තුර්කිමෙනිස්තානය (ටර්ක්මෙනිස්තාන්) හමුවේ තරග වට 3-0ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අද (16) සිදු වුනා.

මෙවර තරගාවලියේ මෙතෙක් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරගවලින් ඇෆ්ගනිස්තානය සහ ප්‍රබල ඉරාන කණ්ඩායම් පරාජය කරමින් මෙම තරගයට ඔවුන් ප්‍රවිෂ්ට වුනත්, අද දිනයේ දී නම් ඔවුන්ට සිය උපරිම දක්ෂතා අතරට පිවිසීමට හැකියාව ලැබුණේ නැහැ.

තරගයේ පළමු තරගවටයේ දී ශ්‍රී ලංකාව සහ තුර්කිමෙනිස්තානය කරට කර තරග වැදුණත්, එහි අවසන් ප්‍රතිඵල ලෙස ලකුණු 25-22ක් ලෙස තුර්කිමෙනිස්තානය තරගවටය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ඉන් පසුව ඔවුන් විසින් ක්‍රීඩා කළ තරගවට ද්විත්වයේ දීම ලකුණු 25-19 බැගින් ප්‍රතිඵල ලබා ගැනීමට ඔවුන්ට සිදු වූ අතර, ඒ අනුව තරගයෙන් තරගවට 3-0ක පරාජයක් උරුම කර ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.

මෙම ජයත් සමඟින් තුර්කිමෙනිස්තානය තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර, ඔවුන් හෙට (17) දිනයේ දී තරගාවලියේ අවසන් මහා තරගයට සත්කාරක පාකිස්තානය සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාව විසින් හෙට දිනයේ දී කිර්ගිස්තානය සමඟින් තරගාවලියේ තෙවන ස්ථානය සඳහා සටන් වදිනු ඇති.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<