දසුන් ශානක ශතකයක් ලබා ගනී

167
NSL 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League ක්‍රිකට් තරගාවලියේ අද (17) නිමා වූ යාපනය සහ කොළඹ අතර තරගයේ දී කොළඹ කණ්ඩායම නියෝජනය කළ දසුන් ශානක ශතකයක් ලබා ගත්තා.

 මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 491ක් ලබා ගත් අතර කොළඹ ක්‍රීඩකයෝ අද තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 592ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් පෙර දින ලකුණු 172ක් ලබා සිටි නුවනිඳු ප්‍රනාන්දු අද තම ඉනිමට තවත් ලකුණු 4ක් එකතු වෙද්දී දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 288කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 180ක් ලබා ගත්තා.

ඔහු සහ දසුන් ශානක 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක සබඳතාවක් ගොඩ නැගුවා. එම කඩුල්ලේ දී ස්ථාවර වූ දසුන් ශානක පෙර දින ලබා ගත් ලකුණු 50ට අද තවත් ලකුණු 50ක් එක්කර ගනිමින් තම පළමු පෙළ තරග දිවියේ 10 වැනි ශතකය වාර්තා කළා.

ඔහු දැවී යන විට පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 118ක් ලබා සිටියා.

ඊට අමතර ව පැතුම් කුමාර පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී සංතුශ් ගුණතිලක, ශෂික දුල්ශාන් සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් දවා ගත්තා. ඊට අමතර ව රවිඳු ප්‍රනාන්දු ද කඩුල්ලක් දවා ගත්තා.

ලකුණු 101ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 146ක් ලබා සිටියා.

එහි දී හසිත බෝයගොඩ පන්දු 85කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා. ඊට අමතර ව ඉනිම ආරම්භ කළ නායක නිශාන් මධුශ්ක පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ද සහ රොන් චන්ද්‍රගුප්ත පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී කලන පෙරේරා සහ නලින් ප්‍රියදර්ශන කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Jaffna – පළමු ඉනිම සියලුම දෙනා දැවී 491 (143.5) නිශාන් මධුශ්ක 53, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 128, නිපුන් කරුණානායක 119, සඳුන් වීරක්කොඩි 58, සංතුශ් ගුණතිලක 50, ජෙෆ්රි වැන්ඩර්සේ 25, නිසල තාරක 2/91, චාමිකර එදිරිසිංහ 2/97, නලින් ප්‍රියංකර 2/117, අශේන් බණ්ඩාර 2/22

Colombo – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 592 (115.0) හේෂාන් ධනුශ්ක 41, දිමුත් කරුණාරත්න 37, නිපුන් ධනංජය 73, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 180, අශේන් බණ්ඩාර 44, දසුන් ශානක 118, පැතුම් කුමාර 35, නිසල තාරක 20, සංතුශ් ගුණතිලක 2/66, ශෂික දුල්ශාන් 2/113, ජෙෆ්රි වැන්ඩර්සේ 2/175

Jaffna – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 146 (32.0) නිශාන් මධුශ්ක 44, හසිත බෝයගොඩ නොදැවී 50, රොන් චන්ද්‍රගුප්ත 40

තරගය විසඳුමකින් තොරයි.

මෙම තරගාවලියේ මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<