පොඩි මාලි ගේ වික්‍රමාන්විතය

176
Sri Lanka Hat trick Story

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වී සිටින බංග්ලාදේශ සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය අවසන් වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරග 2-1ක ජයග්‍රහණයක් සතු කරමින් සහ නුවන් තුෂාරගේ වික්‍රමාන්විත පන්දු යැවීමක් ද සනිටුහන් කරමිනුයි.

දෙරට අතර පැවැති අවසන් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 28ක ජයග්‍රහණයක් හිමි වෙන අතර ඒ සමඟින් ම තරගාවලියේ ජයග්‍රහණය ද ඔවුන් සතු වෙනවා. තරගයේ වීරයා ලෙසින් නුවන් තුෂාර පත් වෙන්නේ කඩුලු ත්‍රිත්වයක් ද සමඟින් ලකුණු 20කට කඩුලු 5ක් දවා ගැනීමේ දක්ෂතාවත් සමඟිනුයි.

තරගාවලියේ දෙවැනි තරගය නිමා වෙන විට දෙරට ක්‍රීඩකයෝ තරග 1-1ක් ලෙසින් සම කරගෙන සිටි අතර එබැවින් ම අවසන් තරගය දෙපිලට ම එකසේ වැදගත් තරගයක් වූවා. කෙසේ වෙතත් මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයන් සතු වන බැව් දැඩි විශ්වාසයක් පැවැතියේ තරග තහනමකට ලක් ව සිටි නායක වනිඳු හසරංග නැවත පිටියට පිවිසෙන්නේ එම තරගයේ දී වන නිසායි.

ඒ වෙද්දී පෙර තරග ද්විත්වය ම නියෝජනය කළ “බේබි මාලිංග” හෙවත් මතීෂ පතිරණ ආබාධයක් හේතුවෙන් තෙවැනි තරගය නියෝජනය නොකරන බැව් ප්‍රකාශ වී තිබුණා. එබැවින් එම අඩුව පිරවෙන්නේ “පොඩි මාලි” හෙවත් නුවන් තුෂාර කණ්ඩායමට කැඳවමිනුයි.

2022 වසරේ පෙබරවාරියේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා සිටි නුවන් තුෂාර එතැන් සිට වසර ද්විත්වයක් ඉක්ම වන තුරු ම ක්‍රීඩා කර තිබුණේ විස්සයි විස්ස තරග 7කට පමණයි.

ප්‍රධාන පුරුකේ පන්දු යවන්නෙක් සේ නොසැලකුණු නුවන් තුෂාරට පසුගිය කාලයේ තරග ලැබුණේ බොහෝ කලාතුරකිනුයි. තරගාවලියකට නම් කෙරුණේ නම් ඉන් තරග ලැබුණේ ද තරගාවලියට 1ක් බැගින් ලෙසයි.

2022 වසරේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 4කට ක්‍රීඩා කරන නුවන් තුෂාරට නිමා වූ 2023 වසරේ ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ එක් තරගයකට පමණයි. එම තරගය ද චීනයේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්වයි. එම තරගයේ දී නුවන් තුෂාර ලකුණු 17කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ එතෙක් හොඳම පන්දු යෑවීම බවට ද පත් වුනා.

අනතුරු ව මේ වසරේ මෙරට පැමිණි සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම්වලට එරෙහිව තරගය බැගින් තරග 2ක් ක්‍රීඩා කිරීමට නුවන් තුෂාරට අවස්ථාව ලැබුණත් එම තරග 2 දී එකඳු හෝ කඩුල්ලක් ලබා ගැනීමට ඔහුට හැකි වෙන්නේ නැහැ.

එසේ ගෙවුණ ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ වඩාත් වැදගත් පන්දු යැවීම් ඉනිම උදා වෙන්නේ මේ තරගයත් සමඟයි. ඔහු තමන්ට ලැබුණ මෙම තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් පමණක් නොවේ, තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීම ද වාර්තා කිරීමට සමත් වෙනවා.

එම කඩුලු ත්‍රිත්වය මෙරට ක්‍රීඩකයන් විසින් වාර්තා කරන ලද 6 වැනි කඩුලු ත්‍රිත්වය වූ අතර එකී දක්ෂතාව කළ මෙරට 5 වැනි ක්‍රීඩකයා බවට ඔහු පත් වෙනවා. ඒ මෙම ලැයිස්තුවේ ලසිත් මාලිංග අවස්ථා දෙකක දී කඩුලු ත්‍රිත්වයන් දවාගෙන ඇති බැවිනුයි. නුවන් තුෂාර පෑ මෙම දක්ෂතාවට ලෝක ලැයිස්තුවට එක් වෙන්නේ 57 වැනි ස්ථානයෙනුයි.

  • විස්සයි විස්ස පිටියේ මෙරට දක්ෂතා ලැයිස්තුව
  පන්දු යවන්නා ප්‍රතිවාදී රට පිතිකරුවන් දැවී ගිය ආකාරය ක්‍රීඩාංගණය දිනය
1 තිසර පෙරේරා ඉන්දියාව Hardik Pandya Ct. සචිත්‍ර සේනානායක Ranchi

 

 

2016

පෙබරවාරි 12

Suresh Raina Ct. දුශ්මන්ත චමීර
Yuvraj Singh Ct. ධනුශ්ක ගුණතිලක
2 ලසිත් මාලිංග බංග්ලාදේශය Mushfiqur Rahim Bowled ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ 2017

අප්‍රේල් 06

Mashrafe Mortaza Bowled
Mehedi Hasan LBW
3 ලසිත් මාලිංග නවසීලන්තය Colin Munro Bowled පල්ලෙකැලේ ක්‍රීඩාංගණය 2019 සැප්තැම්බර් 06
Hamish Rutherford LBW
Colin de Grandhomme Bowled
Ross Taylor LBW
4 අකිල ධනංජය බටහිර ඉන්දීය කොදෙව් Evin Lewis Ct. ධනුශ්ක ගුණතිලක Antigua 2021

මාර්තු 03

Chris Gayle LBW
Nicholas Pooran Ct. නිරෝෂන් දික්වැල්ල
5 වනිඳු හසරංග දකුණු අප්‍රිකාව Aiden Markram Bowled Sharjah 2021 ඔක්තෝබර් 30
Temba Bavuma Ct. පැතුම් නිස්සංක
Dwaine Pretorius Ct. භානුක රාජපක්ෂ
6 නුවන් තුෂාර බංග්ලාදේශය Najmul Hossain Bowled Sylhet 2024 මාර්තු
Towhid Hridoy Bowled
Mahmudullah LBW

නුවන් තුෂාර ගේ මෙම කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නේ මෙම තරගයේ තමන් විසින් යැවුණු පළමු පන්දුවාරයේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි පන්දුවලදීයි. එහිදී පළමු කඩුලු ද්විත්වය පන්දුව කඩුල්ලේ වද්දමින් ද සහ තෙවැනි කඩුල්ල, කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් ද ලබා ගැනීමට සමත් වූවා.

නුවන් තුෂාරගේ මෙම වික්‍රමය මීට පෙර 2017 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ම “ලොකු මාලි” හෙවත් ලසිත් මාලිංග විසින් දැක් වූ දක්ෂතාවට තරමක් සමාන වෙනවා. ඇතැම් ලෙසකින් එය වසර 7කට පසුව එළි දැක් වූ කදිම පුනරූපණයක් ලෙසින් ද හැඳින්විය හැකියි.

එදා ලසිත් මාලිංග ද තම කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නේ Bowled, Bowled සහ LBW ලෙසයි. නුවන් තුෂාර ද තම කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නේ ඒ ආකාරයෙන් ම වීම විශේෂත්වයක්.

ලසිත් මාලිංග තම පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීම සඳහා තරග 67ක් වැය කරන ලද අතර විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට පිවිස වසර 11ක් ගත කරනවා. නමුත් නුවන් තුෂාර ඒ සඳහා වැය කරන්නේ තරග 8ක් පමණක් වන අතර ඔහු විස්සයි විස්ස පිටියට පිවිසි මේ ගෙවා දමන්නේ ද තෙවැනි වසරයි.

ශ්‍රී ලාංකීය ත්‍රිත්ව කඩුලු ලැයිස්තුවේ පළමු වැන්නා බවට පත් වෙන්නේ තිසර පෙරේරා. ඔහු ලෝක ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් 4 වැනි ක්‍රීඩකයා ලෙසයි ලැයිස්තු ගත වෙන්නේ. ඔහු මේ කඩඉමට පිවිසිමට විස්සයි විස්ස පිටියට පිවිස වසර 6ක් ගත කරන ලද අතර ඒ තුළ තරග 44ක් වැය කරනවා. අනතුරුවයි ලසිත් මාලිංග මෙම ලැයිස්තුවට එක් වෙන්නේ.

ලසිත් මාලිංග බංග්ලාදේශයට එරෙහිව පෑ එම දක්ෂතාවෙන් අනතුරුව ඔහු තවත් වසර 2ක ඇවෑමෙන් නැවත වරක් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරනවා. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නවසිලන්තයට එරෙහිවයි.

ඉන් අනතුරු ව මෙම ලැයිස්තුව හා එක්වෙන ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේ අකිල ධනංජය. ඔහු විස්සයි විස්ස පිටියේ තමන් සහභාගී වූ 22 වැනි තරගයේ දී මෙම දක්ෂතාව කරන්නේ, විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට පිවිස වසර 9ක් ඉක් ම වූ පසුවයි.

නුවන් තුෂාර මෙම ලැයිස්තුව හා එක් වීමට පෙර මෙම ලැයිස්තුව ආක්‍රමණය කරන්නේ වනිඳු හසරංග. ඔහු 2021 ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව මෙම දක්ෂතාව සිදු කරනවා.

ඒ වෙද්දී ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියට පිවිසි වසර 5ක් ගත කර තිබූ අතර සහභාගී වී සිටි තරග ප්‍රමාණය 31ක්.

ඒ අනුව බලන විට නුවන් තුෂාර ගේ කඩුලු ත්‍රිත්වය මෙරට ක්‍රීඩකයෙක් විසින් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට පිවිස ඉතා ඉක්මනින් ලබා ගත් කඩුලු ත්‍රිත්වය ලෙසින් ද ඉතිහාසයට එක් වෙනවා. නුවන් තුෂාර මේ වෙනුවෙන් වැය කරන්නේ තම 8 වැනි තරගය වන අතර මේ වෙනුවෙන් ඔහු විසින් ගත කරන ලද කාලය වසර 3ක්.

විස්සයි විස්ස ජාත්‍යන්තර ලැයිස්තුවේ මෙම පිරිසට අමතර ව තවත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙක් ද සිටිනවා. ඒ චෙක් රාජ්‍යය නියෝජනය කරන සුදේශ් වික්‍රමසේකර. ඔහු 2022 වසරේ දී ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනිම සදහා පැවැති යූරෝපා කලාප තරගාවලියේ දී චෙක් ජනරජය නියෝජනය කරමින් එස්ටෝනියාවට එරෙහිව මෙම දක්ෂතා සිදු කළා.

ඔහු මේ දක්ෂතාව සිදු කරනු ලබන්නේ 40 හැවිරිදි වියේ දී වන අතර එය තමන්ගේ 29 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයයි. ඔහු මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ තරග 34කට සහභාගී වී ඇති අතර එම කඩුලු ත්‍රිත්වයත් සමඟින් ලබා ඇති කඩුලු ප්‍රමාණය 23ක්.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය මේ මස 13 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<