සෙබස්තියන්වරු එක්දින තරගයත් ජය ගනී

121
39th Battle of the Golds Limited Over Match

මොරටුව සාන්න සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමාර විද්‍යාලය අතර 39 වැනි වරටත් පැවැති “මොරටු රන් සටන” වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 20ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් වූවා.

මෙම ජයග්‍රහණය සාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටු රන් සටන් වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරග ඉතිහාසයේ ලත් 20 වැනි ජයග්‍රහණයයි.

කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 265ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් වේල්ස් කුමාර විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 245ක් පමණයි.

දෙවිදුහල් අතර ඊට පෙර දිනයේ නිමා වූ 74 වැනි මොරටු රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ ද ජයග්‍රහණය හිමි වූයේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයටයි.

39th Battle of the Golds, Limited Over, මොරටුව, 10 පෙබරවාරි 2024

o කාසියේ වාසිය – වේල්ස් කුමාර විද්‍යාලය

o ක්‍රීඩාංගණය – P. Sara Oval, කොළඹ.

මෙම තරගයේ දී වේල්ස් කුමාර විද්‍යාලයීය ක්‍රීඩකයෝ දෙදින තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම එක් කර තිබූ අතර සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනස්කම් 3ක් සිදුකර තිබුණා. ඒ උෂේන් සිල්වා, යශින් ප්‍රනාන්දු සහ නදීශ් ප්‍රනාන්දු වෙනුවට රයන් දිසානායක, නවෝද් ප්‍රනාන්දු සහ ආකාශ් දිසානායක කණ්ඩායමට එක් කර ගනිමිනුයි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: මනුජ චන්තුක (නායක), ජානක සිල්වා, රයන් දිසානායක, විමත් දින්සර, අදීශ් අල්මේදා, තරිඳු දිලංක (කඩුලු රකින්නා), නදීශ් ප්‍රනාන්දු, මලින්ත ද සිල්වා, කොශේන්ද්‍ර ප්‍රනාන්දු, නවෝද් ප්‍රනාන්දු, ආකාශ් දිසානායක.

වේල්ස් කුමාර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: අචල පෙරේරා (නායක), රිවිත් ජයසූරිය, රුසඳු සිල්වා, සචිර ඩේමියන්, සුවහස් ප්‍රනාන්දු, ඔෂාන් ද සිල්වා, පසන් කුරේ (කඩුලු රකින්නා), නවීන් ප්‍රමේෂ්, උනෙත් පීරිස්, ප්‍රින්ස් ප්‍රනාන්දු, රසිඳු ප්‍රනාන්දු.

කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමාර විද්‍යාලයීය නායකයා ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ඉනිම ආරම්භ කළේ ජානක සිල්වා සහ රයන් දිසානායකයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් එක් කළා. එම සබඳතාව බිඳ වැටෙන්නේ රයන් දිසානායකගේ දැවී යෑමත් සමඟිනුයි. රයන් දිසානායක පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

අනතුරුව ජානක සිල්වා සහ විමත් දින්සර 2 වැනි කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් එක් කළා. ජානක සිල්වා පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත් අතර එය එම ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූවා. තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුනේ ඔහුයි.

 විමත් දින්සර පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ලබා ගනිමින් ඊට කදිම සහයෝගයක් ලබා දුන්නා.

සිවු වැනි කඩුල්ලේ දී ද සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ඉනිමට ලකුණු 64ක සබඳතාවක් එක් වීම කැපී පෙණුනා. ඊට තරිඳු දිලංක සහ අදීශ් අල්මේදා එක් වූවා. එහි දී අදීශ් අල්මේදා පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත් අතර තරිඳු දිලංක පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.

ඔවුන්ගේ ඉනිමේ අවසන් කඩුලු 4 පන්දු 6ක් තුළ ලකුණු 4ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට ප්‍රතිවාදී වේල්ස් කුමාර විද්‍යාලය සමත් වූවා. එහි දී උනෙත් පීරිස් ලකුණු 37කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර සුවහස් ප්‍රනාන්දු සහ අචල පෙරේරා කඩුලු 2ක් බැගින් ද සහ නවීන් ප්‍රනාන්දු, රිවිත් ජයසූරිය සහ ප්‍රින්ස් ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිම 48 වැනි පන්දුවාරයේ දී අවසන් වෙන්නේ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 20ක් පිටුපස සිටිමිනුයි. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ රිවිත් ජයසූරිය සහ රුසඳු සිල්වා ලකුණු 98ක සබඳතාවක් එක් කරමින් තරගයේ වාසිය තමන් වෙත නතු කර ගැනීමට කළ උත්සාහය කැපී පෙණුනා.

නමුත් ඔවුන්ට දිගින් දිගට ම එම රිද්මයේ රැදී සිටීමට ප්‍රතිවාදී සාන්ත සෙබස්තියන් පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

රිවිත් ජයසූරිය පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත් අතර රුසඳු සිල්වා පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

ඊට අමතර ව සචිර ඩේමියන් පන්දු 64කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.

ඉන් අනතුරුව පිටියේ ස්ථාවර ඉනිමක් ගොඩනැගුවේ නායක අචල පෙරේරා සහ උනෙත් පීරිස්. අචල පෙරේරා පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත් අතර උනෙත් පීරිස් පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී අදීශ් අල්මේදා, මලින්ත ද සිල්වා සහ කොශේන්ද්‍ර ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බෙදා ගනිද්දී නදීශ් ප්‍රනාන්දු සහ මනුජ චන්තුක කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – සියලුම දෙනා දැවී 265 (49.2) ජානක සිල්වා 65, රයන් දිසානායක 21, විමත් දින්සර 44, අදීශ් අල්මේදා 32, තරිඳු දිලංක 40, නදීශ් ප්‍රනාන්දු 26, උනෙත් පීරිස් 2/37, අචල පෙරේරා 2/48, සුවහස් ප්‍රනාන්දු 2/41

වේල්ස් කුමාර විද්‍යාලය – සියලුම දෙනා දැවී 245 (47.3) රිවිත් ජයසූරිය 57, රුසඳු සිල්වා 41, සචිර ඩේමියන් 38, අචල පෙරේරා 31, උනෙත් පීරිස් 30, අදීශ් අල්මේදා 2/61, මලින්ත ද සිල්වා 2/39, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 2/39

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 20ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<