දකුණු ලක ප්‍රථම බාලිකා මහා ක්‍රිකට් තරගය වීරකැටියේ දී

718
01st Battle of Friendship

වීරකැටිය ශ්‍රී ලංකා – සංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලය සහ අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය අතර පැවැත්වෙන “මිත්‍රත්වයේ සටන” බාලිකා වාර්ෂික මහා ක්‍රිකට් තරගයට හෙට (01) මාර්තු මස 01 වැනිදා වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ප්‍රථම වරට දකුණු පළාතට බාලිකා මහා ක්‍රිකට් තරගයක අත්දැකීමක් ලබා දෙන මෙම මංගල මහා තරගය පන්දුවාර 30ක ඉනිම් 2කින් යුක්තව පැවැත්වීමටයි සංවිධායකයන්ගේ බලාපොරොත්තුව.

මෙම තරගයේ සත්කාරක ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ සිතාරා තුල්නදී වෙත වන අතර සංචාරක ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ ශෂිනි උමේෂා ද සිල්වා වෙතයි.

ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලය එහි තරගකාරී අංශයේ දක්ෂ කණ්ඩායමක්.

ඔවුන් සතුව දක්ෂ ක්‍රීඩිකාවක් කිහිප දෙනෙක් ම සිටින අතර ඒ අතුරින් ප්‍රමුඛයෙන් ම සටහන් වෙන්නේ දකුණු පළාත් වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කළ, කණ්ඩායමේ උප නායිකාව වන ස්නේහා කෞමිනි ගේ නමයි. දකුණත් පිතිකාරිනියක් සහ දකුණතින් පා දඟ පන්දු යවන්නියක් ලෙසින් ඇය දක්ෂතා දක්වනවා.

ඇයට අමතර ව හම්බන්තොට දිස්ත්‍රික් වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවන් 6 දෙනෙක් ද ඔවුන්ගේ කණ්ඩායම සවි බල ගන්වනවා.

ඒ අතුරින් කණ්ඩායමේ නායිකාව වන සිතාර තුල්නදී වඩාත් විශ්වසවන්තනීය පිතිකාරිනියක් ලෙසින් හැඳින්වෙනවා. ඊට අමතර ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් ලෙසින් සිතුමිණි සංකල්පනා මුණසිංහ ද සහ කණ්ඩායමේ කඩුලු රකින්නිය ලෙසින් ද කටයුතු කරමින් දක්ෂ පිතිකාරිනියක් ලෙසින් ද හැඳින්වෙන නිපුනි නිමේෂා ද මෙම කණ්ඩායම නියෝජනය කරනවා.

ඔවුන් සමඟින් වමතින් පිත්ත හසුරුවමින්, දකුණතින් මඳ වේග පන්දු යවන රන්දි ප්‍රතිභා, දකුණතින් පිත්ත හසුරුවමින් සහ දකුණතින් මඳ වේග පන්දු යවන දමෝද්‍යා තත්සරණි සහ පා දඟ පන්දු යවන්නියක් ලෙසින් දක්ෂතා දක්වන සනුති තසන්‍යා ද මේ අතර වෙනවා.

1st Battle of Friendship

ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම:

සිතාරා තුල්නදී (නායිකාව), ස්නේහා කෞමිනි (උප නායිකාව), දමෝද්‍යා සත්සරණි, සිතුමිණි සංකල්පනා මුණසිංහ, මයුමි ප්‍රවිශ්කා,  රන්දි ප්‍රතිභා, චතුමි ශ්‍රීස්තා, යෙනුලි තෙසාරා, මල්ෂා උදේශිකා, රශිනි දිනුෂිකා, නිපුනි නිමේෂා (කඩුලු රකින්නිය), නෙතුලි හේෂරා, සනුති තසන්‍යා, වොනෙල්කා සවිත්මි, අමනෙතු කවීෂා, කිවිදි හංසි.

නිලධාරීන්: සුමනා රත්නායක (විදුහල්පතිනිය), අතුල එදිරිවික්‍රම (නියෝජ්‍ය විදුහල්පති), නිරෝෂා දිල්රුක්ෂි (සහකාර විදුහල්පතිනි), නදුන් කීර්තිරත්න (සහකාර විදුහල්පති), සුපුන් එදිරිසිංහ (ක්‍රිකට් භාර ආචාර්ය), රවින්ද්‍ර මහානාම (පුහුණුකරු).

ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දැක් වූ කණ්ඩායමක් ලෙසින් මෙම කණ්ඩායම ද නම් කළ හැකියි.

එම දක්ෂතා මතින් ආ ගමනේ දී කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩිකාවන් අතුරින් ප්‍රමුඛ ස්ථානය හිමි ව ඇත්තේ සචිනි සාවින්ද්‍යා ද සොයිසා වෙතයි. ඇය ගාල්ල දිස්ත්‍රික් වයස අවුරදු 19න් පහළ බාලිකා කණ්ඩායම නියෝජනය කළ කණ්ඩායමේ සිටින එක ම ක්‍රීඩිකාවයි. දකුණත් පිතිකාරිනියක් සහ දකුණතින් පිට දඟ පන්දු යවන්නියක් ලෙසින් දක්ෂතා දක්වන ඇය වර්ගීකරණය වී ඇත්තේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙසයි.

ඊට අමතර ව විශ්වසීනිය ක්‍රීඩිකාවන් අතුරින් පළමු තැනේ සිටින්නේ කණ්ඩායමේ නායිකාව වන ශෂිනි උමේෂා ද සිල්වා. දකුණතින් පිත්ත හසුරුවන ඇය ප්‍රධාන වමත් දඟ පන්දු යවන්නිය ලෙසින්  ද කටයුතු කරනවා.

ඊට අමතර ව විජිනි ප්‍රබා සිල්වා, වගීෂා බවසරණි සහ කවීෂා ගිම්හානි ද ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් ලෙසින් වර්ගීකරණයට ලක් ව සිටිනවා.

01st Battle of Friendship

ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම:

ශෂිනි උමේෂා මධුශානි ද සිල්වා (නායිකාව), විජිනි ප්‍රභා සිල්වා, සචිනි සාවින්ද්‍යා ද සොයිසා, කවීෂා ගිම්හානි, වගීෂා බවසරණි, තරුසි ඉමාෂා, යශ්මි කවීෂා, හිරුෂි සංජනා (කඩුලු රකින්නිය), උපුලි සමාරා, ගිත්මි ශෙහාරා, උවින්දි සිනාශා, බුහුනි තෙනුල්‍යා ලෙව්වන්දි, ඕෂදී සංජනා, කවීෂා කාවින්දි, ඉසුරි ජයෝදා පෙරේරා, චනාරා දෙවිදුනි, අශිනි මධුශානි.

නිලධාරීන්: රුවන්ති ද සිල්වා (විදුහල්පතිනිය), චාන්දනී ජයලත් (ක්‍රිකට් භාර ආචාරිනි), කවිතා ඩිල්කි මෙන්ඩිස් (පුහුණුකාරිනී).

මෙම මහා ක්‍රිකට් සටනේ ප්‍රධාන ආරාධිතයන් අතරට අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියොජනය කළ ඉනෝකා රණවීර ද සහභාගී වීමට නියමිතයි.

මිත්‍රත්වයේ සටන මංගල මහා ක්‍රිකට් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලයීය කණ්ඩායමට සහ අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලයීය කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<