ලහිරු සහ අයන දක්ෂතා දක්වයි

Uganda Tour of Sri Lanka 2024

305

සංචාරක උගන්ඩා ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (21) අවසන් වූ 7 වැනි තරගය ද ජයග්‍රහණය කිරීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වූවා.  

නිමා වූ මෙම තරගයේ දී ලහිරු සමරකෝන් සහ අයන සිරිවර්ධන තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වීම කැපී පෙණුනා. 

විස්සයි විස්ස තරග 7කින් යුත් මෙම තරගාවලිය 7-0ක් ලෙස ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා සංවර්ධිත සංචිත ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුන අතර උගන්ඩා ජාතික කණ්ඩායම මෙරට පිවිසියේ එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමෙන් අනතුරුව විශේෂ පුහුණු සැසි කිහිපයකට සහභාගී වීමට සහ මෙම පුහුණු විස්සයි විස්ස තරග සඳහා සහභාගී වීමටයි.  

ඔවුන් මෙම තරග සංචාරයට එක් වීමට පෙර මේ ආකාරයෙන් ම ඉන්දීය සංචාරයකට ද එක් ව තිබුණා. එහි දී ද ඔවුන් තරග 9කට සහභාගී වී ඇති අතර එම තරග 9ම අවසන් කර තිබෙන්නේ පරාජිත තරග ලෙසයි.  

7 වැනි තරගය, ගාල්ල, 21, පෙබරවාරි 2024, Uganda Tour of Sri Lanka 

  • ක්‍රීඩාංගණය: ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල 
  • කාසියේ වාසිය: උගන්ඩාව 

අද පැවැති තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිත කණ්ඩායමේ නායකත්වය ලක්ෂාන් සඳකැන් වෙත පවරා තිබුණා. ඒ අනුව පෙර තරගවල නායකත්වයේ කටයුතු කළ අහන් වික්‍රමසිංහ මෙන් ම ලසිත් කෲස්පුල්ලේ, මුදිත ලක්ෂාන් සහ කවිඳු නදීශාන් ද මෙම තරගයෙන් විවේක ගන්වා තිබුණා. ඒ වෙනුවට ක්‍රිශාන් සංජුල, තරිඳු දික්වැල්ල, රනුද සෝමරත්න සහ තරිඳු රත්නායක කණ්ඩායමට එක් කර තිබුණා.  

සංචාරක උගන්ඩා කණ්ඩායමේ පෙර තරගයට ක්‍රීඩා කළ කඩුලු රැකි ක්‍රීඩක Fred Achellam, Simon Ssesazi, Bilal Hassun, Roger Ali Shah සහ Juma Miyagi මෙම තරගයේ දී විවේක ගන්වා තිබූ අතර ඒ වෙනුවට කඩුලු රකිනා ක්‍රීඩක Kakuru Cyrus, Ronad Lutaya, Frank Nsubuga, Juma Miyagi සහ Innocent Mwebaze එක් කර තිබුණා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිත කණ්ඩායම: ලක්ෂාන් සඳකැන් (නායක), ක්‍රිශාන් සංජුල, කමිල් මිෂාර (කඩුලු රකින්නා), තරිඳු දික්වැල්ල, සචිත ජයතිලක, ලහිරු සමරකෝන්, රනුද සෝමරත්න, අයන සිරිවර්ධන, තරිඳු රත්නායක, කවිඳු නිර්මාණ, සහ දනාල් හේමානන්ද. 

උගන්ඩා කණ්ඩායම: Brian Masaba (නායක), Kakuru Cyrus (කඩුලු රකින්නා), Roger Mukasa, Ronad Lutaya, Kenneth Waiswa, Dinesh Nakrani, Frank Nsubuga, Juma Miyagi, Innocent Mwebaze, Henry Ssenyondo, Robinson Obuya. 

කාසියේ වාසිය දිනා ගත් උගන්ඩා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට දීමේ අවස්ථාව ශ්‍රී ලංකා සංවර්ධිත සංචිතය සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 167ක් ලබා ගත්තා.  

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අයන සිරිවර්ධන. ඔහු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා. ඊට අමතර ව ඔහු රනුද සෝමරත්න එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 44ක දී ලකුණු 55ක සබඳතාවක් එක් කළා.  

රනුද සෝමරත්න පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා. 

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී ලහිරු සමරකෝන් පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 30ක් ද සහ තරිඳු රත්නායක පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Frank Nsubuga ලකුණු 25කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී Dinesh Nakrani සහ Henry Ssenyondo කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි උගන්ඩා ක්‍රීඩකයෝ තම පන්දු වාර 20.0 අවසන් වෙද්දී ලබා ගත්තේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් පමණයි.  

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Dinesh Nakrani. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකරු Roger Mukasa පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද සහ Robinson Obuya පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී ලහිරු සමරකෝන් ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව කවිඳු නිර්මාණ කඩුලු 2ක් ද සහ දනාල් හේමානන්ද, තරිඳු රත්නායක සහ අයන සිරිවර්ධන කඩුල්ල බැගින් ද දවා ගත්තා. 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතය – කඩුලු 5ක් දැවී 167 (20.0) ක්‍රිශාන් සංජුල 27, අයන සිරිවර්ධන 35, රනුද සෝමරත්න 23, ලහිරු සමරකෝන් නොදැවී 30, තරිඳු රත්නායක නොදැවී 16, Frank Nsubuga 2/25

උගන්ඩාව – කඩුලු 9ක් දැවී 161 (20.0) Roger Mukasa 29, Robinson Obuya 24, Dinesh Nakrani 34, Kakuru Cyrus 19, ලහිරු සමරකෝන් 3/36, කවිඳු නිර්මාණ 2/27

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිත කණ්ඩායමට ලකුණු 6ක ජයක්.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<