මාර්තු උන්මාදයේ පළමු වෙඩිමුරය සහෝදරයන්ගේ සටනින්!

March Madness - 61th Battle of the Brothers

261

කොළඹ තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාල අතර 61 වැනි වරට පැවැත්වීමට නියමිත “සහෝදරයන්ගේ සටන” දෙදින මහා ක්‍රිකට් තරගය එළඹෙන පෙබරවාරි 24 සහ 25 යන දින වල කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

පාසල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරග අතුරින් වඩාත් ප්‍රචලිත සහ පැරණිතම ක්‍රිකට් ගැටුමක් ලෙස සැලකෙන මෙම සහෝදරයින්ගේ සටන සමඟින් 2024 වසරේ මහා ක්‍රිකට් තරග සමය ආරම්භ වීමට ද නියමිත ව තිබෙනවා. 

1964 වර්ෂයේ දී ආරම්භ වූ මෙම “බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලාන” ක්‍රිකට් ගැටුමෙන් මේ දක්වා තර්ස්ටන් විද්‍යාලය අවස්ථා හයක දී සහ ඉසිපතන විද්‍යාලය අවස්ථා 4ක දී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. 

නිමා වූ 19න් පහළ ලෝක කුසලානය නියෝජනය කළ විහස් තෙව්මික විසින් මෙම වසරේ දී තර්ස්ටන් විද්‍යාලයට නායකත්වය ලබා දීමට නියමිත අතරේ, සිතුක ගුණවර්ධන ඉසිපතන විද්‍යාලයට නායකත්වය ලබා දීමට නියමිතයි. මෙම තරග වාරය තුළ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් ඉහළම කඩුලු ලාභියා වීමට සමත් වී ඇත්තේ ද සිතුක විසිනුයි. 

මේ අතර දෙවිදුහල් අතර 44 වැනි වරට පැවැත්වීමට නියමිත “ඩබ්ලිව.ඒ. ද සිල්වා අභියෝගතා කුසලාන” එක්දින තරගය මාර්තු මස 17 වැනි දා පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම දෙවිදුහල් අතර 17 වැනි වරට පැවැත්වීමට නියමිත “ප්‍රියා පරණවිතාන අභියෝගතා කුසලාන” විස්සයි විස්ස තරගය මාර්තු මස 09 වැනි දා තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

61 වැනි සහෝදරයින්ගේ සටනේ සජීවී අත්දැකීම ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<