දෙහිවල මහ නගර සභාවට B ශූරතාව

167
SLSSCA Annual Cricket Tournament

රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් රාජ්‍ය ආයතන B කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශ කණ්ඩායමට එරෙහිව ලකුණු 39ක ජයග්‍රහණයක් වාර්තා කළ දෙහිවල මහ නගර සභා ක්‍රීඩකයෝ ශූරතාව දිනා ගත්තා.

දෙහිවල මහ නගර සභාව අවසන් මහා තරගයට පිවිසීමේ දී අවසන් පූර්ව වටයේ දී පොලිස් අභ්‍යාස විද්‍යාලයීය කණ්ඩායමට එරෙහිව ලකුණු 181ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලද අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තරගයට පිවිසියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එරෙහිව කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගනිමින්.

කණ්ඩායම් 10ක් සහභාගී මෙවර තරගාවලියේ පළමු වටයේ දී මෙම කණ්ඩායම් දෙක එකිනෙකා හමු වූ අවස්ථාවේ දී දෙහිවල මහ නගර සභාව ලකුණු 92ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් අතර මෙම තරගයේ දී ද ඔවුන් අපහසුතාවයකින් තොරව ජයග්‍රහණය කරා ගමන් කළා.

දෙහිවල මහ නගර සභාවේ ජයග්‍රාහී ගමන් මඟ
1 තැපැල් දෙපාර්තමේන්තුව දෙහිවල මහ නගර සභාවට ලකුණු 36ක ජයක්.
2 විශ්වවිද්‍යාලය, මොරටුව තරගයේ විසඳුමක් නෑ.
3 විදෙස් සේවා කාර්යාංශය තරගයේ විසඳුමක් නෑ.
4 විශ්වවිද්‍යාලය, කොළඹ දෙහිවල මහ නගර සභාවට කඩුල්ලක ජයක්.
5 සෞඛ්‍ය අමාත්‍යාංශය දෙහිවල මහ නගර සභාවට ලකුණු 92ක ජයක්.
6 ජයවර්ධනපුර රෝහල තරගයේ විසඳුමක් නෑ.
7 පොලිස් අභ්‍යාස විද්‍යාලය තරගයේ විසඳුමක් නෑ.
8 බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලකුණු 82ක ජයක්.
අවසන් පූර්ව තරගය
9 පොලිස් අභ්‍යාස විද්‍යාලය දෙහිවල මහ නගර සභාවට ලකුණු 181ක ජයක්.
අවසන් මහා තරගය
10 සෞඛ්‍ය අමාත්‍යාංශය දෙහිවල මහ නගර සභාවට ලකුණු 39ක ජයක්.

අවසන් මහා තරගය

දෙහිවල මහ නගර සභා කණ්ඩායම: චන්න කසුන් (නායක), සුරංග ප්‍රියදර්ශන, රොෂාන් චතුරංග, මනෝජ් චමින්ද, නුවන් තාරක, වනෝජ් උදාර, ඩිලාන් මධුශංක, ශානක ශෙහාන්, ජී. පී. අනුරාධ, නලින් ජයසිංහ, සුරංග පෙරේරා (කඩුලු රකින්නා).

සෞඛ්‍ය අමාත්‍යාංශ කණ්ඩායම: චන්දන ධනපාල (නායක), ෂෙහාන් සංජීව, තරිඳු ජයසිංහ, ඩිලාන් පරණමාන්න, සඳුන් ප්‍රසන්න, නිශාන්ත කරුණාරත්න, චමිල් මධුශංක (කඩුලු රකින්නා), රංග සුරේෂ්, ලක්මාල් රණසිංහ, සිතුම් තරංග, ජීවන් සමරසේන.

කාසියේ වාසිය දිනා ගත් දෙහිවල මහ නගර සභා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස කඩුලු 9ක් දැවී ලකුණු 276ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් වනෝජ් උදාර පන්දු 96ක දී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 73ක් ලබා ගත් අතර නායක චන්න කසුන් පන්දු 65ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගනිමින් දැවැන්ත ඉනිමක් ගොඩ නැගීමට දායකත්වය දැක් වූවා.

ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වූවා.

එම ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවක් එක් කිරීමට වනෝජ් උදාර සහ ඩිලාන් මධුශංක (30) ද සමත් වීම කැපී පෙණුනා.

කඩුලු දවා ගැනීමේ දී රංග සුරේෂ් ලකුණු 37කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඩිලාන් පරණමාන සහ තරිඳු ජයසිංහ කඩුලු 2ක් බැගින් ද ජීවන් සමරසිංහ සහ ලක්මාල් රණසිංහ කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සෞඛ්‍ය අමාත්‍යාංශ කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 237ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් දක්ෂතා දැක් වූවන් අතර සඳුන් ප්‍රසන්න සහ චමිල් මධුශංකගේ නම් ඉදිරියෙන් ම කියැවෙනවා. සඳුන් ප්‍රසන්න පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟ ලකුණු 71ක් රැස් කරද්දී චමිල් මධුශංක පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා.

සෞඛ්‍ය ඉනිම වරෙක කඩුලු 3ක් දැවී ලකුණු 24ක් ව තිබිය දී එම ඉනිම ගොඩ නැගීමේ මෙහෙවරක නිරත වූයේ සඳුන් ප්‍රසන්න සහ ඩිලාන් පරණමාන (24)යි. ඔවුන් දෙදෙනා එක් ව සිවුවැනි කඩුල්ලට පන්දු 92ක දී ලකුණු 76ක සබඳතාවක් ගොඩ නැගුවා.

ඉන් අනතුරු ව චමිල් මධුශංක හා එක් වූ සඳුන් ප්‍රසන්න 6 වැනි කඩුල්ලට ද පන්දු 78ක දී ලකුණු 51ක සබඳතාවක් ගොඩ නැගුවා.

සඳුන් ප්‍රසන්නගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් කඩුලු 3ක් දැවී යන තුරු තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය ඉනිම ගොඩ නැගීමට චමිල් මධුශංක වෙහෙසක් දැරූව ද අනෙක් පිතිකරුවන්ගෙන් එතරම් ම දායකත්වයක් නොලැබීම හේතුවෙන් ඔවුන්ගේ ඉනිම තවත් පන්දු 21ක් ඉතිරිව තිබිය දී අවසන් වුණා.

පන්දු යැවීමේ දී නුවන් තාරක ලකුණු 56කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නායක චන්න කසුන් කඩුලු 2ක් ද, නලින් ජයසිංහ සහ ඩිලාන් මධුශංක කඩුල්ල බැගින් ද දවා ගත්තා.

අවසන් මහා තරගය, රත්මලාන, SLSSCA Annual Cricket Tournament 2024

o ක්‍රීඩාංගණය – ජාතික සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය, රත්මලාන

o කාසියේ වාසිය – දෙහිවල මහ නගර සභාව.

දෙහිවල මහ නගර සභාව – කඩුලු 9ක් දැවී 276 (50.0)  නුවන් තාරක 21, වනෝජ් උදාර 73, ඩිලාන් මධුශංක 30, චන්න කසුන් 54, ශානක ශෙහාන් 38, ඩිලාන් පරණමාන 2/49, රංග සුරේෂ් 3/37, තරිඳු ජයසිංහ 2/25

සෞඛ්‍ය අමාත්‍යාංශය – සියලුම දෙනා දැවි 237 (46.3) ඩිලාන් පරණමාන 24, සඳුන් ප්‍රසන්න 71, චමිල් මධුශංක 60, රංග සුරේෂ් 19, චන්න කසුන් 2/45, නුවන් තාරක 5/56

දෙහිවල මහ නගර සභාවට ලකුණු 39ක ජයක්.

තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෝ

නිමා වූ තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වූයේ තැපැල් දෙපාර්තමේන්තුව නියෝජනය කළ රෝහණ කුමාර. ඔහු තරග 9ක ඉනිම 8ක දී ලකුණු 304ක් ලබා ගන්නවා. ඔහුගේ මෙම ලකුණු අතර විදෙස් සේවා කාර්යාංශයට එරෙහිව පන්දු 111ක දී ලබා ගත් ලකුණු 113ක් ඇතුලත්.

ඊට අමතර ව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එරෙහිව පන්දු 106කට ලබා ගත් ලකුණු 64ක් සහ දෙහිවල මහ නගර සභාවට එරෙහිව පන්දු 61ක දී ලබා ගත් ලකුණු 51ක් ද ඒ අතර වෙනවා. මෙම දක්ෂතා සමඟින් ඔහු තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් ද සම්මානයට පාත්‍ර වූවා.

එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය දෙහිවල මහ නගර සභා කණ්ඩායමේ ඩිලාන් මධුශංක සතු වූනා. ඔහු තරග 8ක ඉනිම් 7ක දී ලකුණු 295ක් ලබා ගනිමින් මෙම ස්ථානය තහවුරු කර ගත්තා. ඔහුගේ එම ඉනිම් අතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට එරෙහිව පන්දු 86ක දී නොදැවී ලබා ගත් ලකුණු 122ක් ද ඇතුලත්.

මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය පොලිස් අභ්‍යාස විද්‍යාලයීය කණ්ඩායමේ රශින්ද දක්ෂිත සතු කර ගන්නවා. ඔහු තරග 8ක ඉනිම් 7ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 228ක්. එහි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කණ්ඩායමට එරෙහිව පන්දු 107ක දී ලබා ගත් ලකුණු 105ක් ද ඇතුලත්.

තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වූයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සෙනරත් කවිසේකර. ඔහු මෙම ඉනිම වාර්තා කරන්නේ විදෙස් සේවා කාර්යාංශයට එරෙහිව පන්දු 109ක දී නොදැවී ලබා ගන්නා ලද ලකුණු 152යි.

තරගාවලියේ පන්දු යවන්නන් අතුරින් ඉහළ ම දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ රංග සුරේෂ්. ඔහු මෙම අසුන වෙන් කර ගැනීමට තරග 10ක දී කඩුලු 27ක් ලබා ගන්නවා.

ඒ අතර විදෙස් සේවා කාර්යාංශයට එරෙහිව පන්දුවාර 9ක දී ලකුණු 15කට දවා ගත් කඩුලු 8ක් තිබෙන අතර එය මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව ද වෙනවා. ඔහුගේ මෙම දක්ෂතාවන් තරගාවලියේ දක්ෂත ම පන්දු යවන්නා ලෙසින් සම්මාන පත් වීමට ද හේතු වූවා.

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය තැපැල් දෙපාර්තමේන්තුවේ තරංග ප්‍රනාන්දු සතු වුනා. ඔහු තරග 9ක ඉනිම් 8ක දී කඩුලු 21ක් ලබා ගනිමින් මෙම අසුනට හිමිකම් කීවා. මෙම තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ විදෙස් සේවා කාර්යාංශයට එරෙහිව ලකුණු 25කට ලබා ගත් කඩුලු 6යි.

තරග 8ක දී කඩුලු 18ක් ලබා ගත් දෙහිවල මහ නගර සභාවේ ශානක ශෙහාන් මෙම ලැයිස්තුවේ තෙවැනි අසුන වෙන්කර ගත්තා. ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයට එරෙහි ව ලකුණු 17කට ලබා ගත් කඩුලු 6යි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<