විද්‍යාලෝක සහ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය සම ශූරයන් වේ

U 19 Division iii Limited Over Tournament 2023

475

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් හා එක් ව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ තෙවැනි පෙළ Tier A කොටසේ ක්‍රිකට් තරගාවලියේ සම ශූරයන් ලෙසින් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය තේරී පත් වූවා.  

දෙවිදුහල් අතර අවසන් මහා තරගය (17දා) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැතිය ද ඊට වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් මෙම තරගයේ විසඳුමක් කරා යෑමට නොහැකි වූවා.

ආනන්ද ශාස්ත්‍රාලය පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය ද, අර්ධ අවසන් පූර්ව වටයේ දී හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය ද සහ අවසන් පූර්ව වටයේ දී සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය ද පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

විද්‍යාලෝක විද්‍යාලය පෙර අර්ධ අවසන් පූරුව වටයේ දී හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය ද,  අර්ධ අවසන් පූර්ව වටයේ දී නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය ද සහ අවසන් පූර්ව වටයේ දී පොලොන්නරුව රාජකීය විද්‍යාලය ද පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

විද්‍යාලෝක විදයාලය මෙම තරගයට පිවිසියේ පෙර වසරේ අනුශූරයන් ලෙසයි.

විද්‍යාලෝක විද්‍යාලය: දසුන් චමෝද් (නායක), ප්‍රගීත් බිම්සර , නිමේෂ් අවින්ද, රශ්මික ප්‍රභාත්, සෙනිරු නිදුවර, ලිදුල නුවංග, පසන් මධුශංක (කඩුලු රකින්නා), සදිල් සෙනුද, සචිත්‍ය ඉඳුවර, මිතිල සත්සිලු, දක්ෂින හසරංග.

අතිරේක ක්‍රීඩකයන්: තෙනුක දම්සිලු, තෙනුර ගීමෙත්, තුරුණු මෙන්ඩිස්, අභිලාශ් අලංකාර, ලසඳු තිවංක, දුමිඳු සත්තර, යසිත් දීමන්ත, ගජත සහිරු.

නිලධාරීන්: රවින්ද්‍ර මනතුංග (ක්‍රිකට් භාර ආචාර්ය) තුසිත කාරියවසම් (පුහුණුකරු)

ආනන්ද ශ්‍රාස්ත්‍රාලය: කුසිත් මදුශාන් සුබසිංහ (නායක) බිනුප තත්මිර, නෙලිත් නිම්දිය, චාරුක ඒෂාන්, ජනිත රුක්ෂාන්, නදිල් පෙරේරා, වෙනුර සන්තුෂි (කඩුලු රකින්නා), සදෙව් ඉන්දීප, නදීම් මජීඩ්, නිතිෂ් තරින්ද, පෝශිත මදනායක.

අතිරේක ක්‍රීඩකයන්: යොහාන් ලක්ෂිත, අබුතාහිර් අතීෆ්, අනුෂ්ක පෙරේරා, අදීශ දිසානායක, රන්දික සිල්වා, උෂාර යහම්පත්, කලන පෙරේරා, සෙනිත් තිලකරත්න, මනිසිල් පෙරේරා.

නිලධාරීන්: හර්ෂන බණ්ඩාර (ක්‍රිකට් භාර ආචාර්ය), ශෂිල පෙරේරා (පුහුණුකරු)

අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය ආරම්භ වූයේ පන්දුවාර 39කට සීමා වෙමිනුයි. ඒ අනුව උරගා බැලුණ කාසියේ වාසිය විද්‍යාලෝක විද්‍යාලය විසින් දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ප්‍රගීත් බිම්සර සහ දසුන් චමෝද් විද්‍යාලෝක ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා ප්‍රතිවාදීන්ට අනුකම්පා විරහිත පිති ප්‍රහාරයක යෙදුනා. නමුත් ප්‍රගීත් බිම්සරට තමන් මුහුණ දුන් 55 වැනි පන්දුවෙන් තම ඉනිම අත්හැරීමට සිදු වූවා. ඒ සිදු වූ ආබාධයක් හේතුවෙන්. ඒ වෙද්දී ඔහු පන්දු හතරේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටියා.

ඉන් අනතුරුව තරගය වැඩි වේලාවක් පැවැතියේ නැහැ. තරගයේ 20 වැනි පන්දුවාරයේ දී ඇද හැළුණ වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට පිටියේ විනිසුරුවන්ට සිදු වූවා. ඒ වෙද්දී විද්‍යාලෝක විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 108ක් ලබා සිටි අතර අනෙක් ආරම්භක පිතිකරු නායක දසුන් චමෝද් පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටියා.

අනෙක් අන්තයේ සිටි නිමේෂ් අවින්ද පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.

ඒ වෙද්දී ආනන්ද ශාස්ත්‍රාලය වෙනුවෙන් පන්දු යවන්නෝ 7 දෙනෙක් ම කැඳවා තිබුණ ද ඔවුන් කිසිවෙක්ටත් කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

අවසන් මහා තරගය, සූරියවැව, 17, දෙසැම්බර් 2023,  U 19 Division iii Tier A Limited Over Tournament 2023

විද්‍යාලෝක විද්‍යාලය – කිසිවෙක් නොදැවී 108 (19.5) ප්‍රගීත් බිම්සර 43, දසුන් චමෝද් නොදැවී 52

තරගයේ විසඳුමක් නෑ.

මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප ලේකම් ලීලානන්ද කුමාරසිරි සහ වයස අවුරුදු 19න් පහළ තරගාවලි ලේකම් වයි. නිශාන්ත කුමාර යන මහත්වරුන් ද සහභාගී වූවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<