ශ්‍රී ලංකා යෞවනයන් ගෙදර එවූ බංග්ලාදේශය සහ UAE අවසන් තරගයට

ACC U19 Asia Cup 2023

1176
ACC U 19 Asia Cup Final - Review

ආසියානු ක්‍රිකට් කවුන්සිලය 10 වැනි වරටත් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලියට ආසන්නත ම අනුශූරයන් ලෙසින් සහභාගී වූ ශ්‍රී ලංකා යෞවනයන්ට වේලාසනින් ම ගෙදර එවීමට මඟ පෑදු බංග්ලාදේශය සහ එක්සත් එමීර් රාජ්‍ය කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

එම කණ්ඩායම් 2 ම ශ්‍රී ලංකාව සහභාගී වූ  B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ අතර එහි දී පළමු ස්ථානය බංග්ලාදේශය විසින් ද සහ 2 වැනි ස්ථානය එක්සත් එමීර් රාජ්‍ය කණ්ඩායම විසින් ද දිනා ගත්තා. එහි තෙවැනි ස්ථානයට පත් වී අවසන් පූර්ව වටය අහිමි කර ගත්තේ ශ්‍රී ලංකාවයි.

අවසන් පූර්ව වටයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ මෙතෙක් තරගාවලියේ 8 වතාවක් ශූරයන් වූ මෙන් ම ආසන්නත ම වසර ත්‍රිත්වයේ ද ශූරයන් වූ ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීම කැපී පෙණුනා.

බංග්ලාදේශය වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ඉතිහාසයේ දී  2019 වසරේ මෙරට දී පැවැති තරගාවලියේ දී අනුශූරයන් බවට මීට පෙර පත්ව සිටියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගන්නේ පළමු අවස්ථාවටයි. එසේ වූවත් ඔවුන් 2012 වසරේ සම ශූරයන් සහ 2013/14 සහ 2017 වසර ද්විත්වයේ අනුශූරයන් වූ පාකිස්තානය පරාජය කරමින් මෙම අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙණුනා.

දෙරට අතර පැවැත්වෙන අවසන් මහා තරගය හෙට (17) පස්වරු 11.00ට Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය

මෙම තරගයට පාකිස්තාන කණ්ඩායම සහභාගී වෙන්නේ A කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම ලෙසයි. එම විශ්වාසයත් සමඟින් කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව අරාබි ක්‍රීඩකයන්ට පැවැරුවා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම ලකුණු 193කට සීමා කිරීමට ප්‍රතිවාදී පාකිස්තානුවෝ සමත් වූවා. එම ඉනිම ඒ තරමින් පාලනය කිරීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන Ubaid Shah ලකුණු 44කට කඩුලු 4ක් දවා ගත්තා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉනිම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේ නායක Aayan Afzal Khan. ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා. ඔහු Ethan D’Souza සමඟ එක් 6 වැනි කඩුල්ලට ලකුණු 54ක් එක් කිරීමට ද සමත් වූවා. Ethan D’Souza ලබා ගත් ලකුණු සංඛ්‍යාව 37ක්. ඊට පන්දු 63ක් වැය ව තිබූ අතර හතරේ පහර 2ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් වුනා.

ඊට අමතර ව අරාබි ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු Aryansh Sharma පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තානුවන්ගේ ආරම්භක කඩුලු ද්විත්වය ලකුණු 22ක දවා ගත්ත ද තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83ක සබඳතාවක් එක් කිරීමට Azan Awais සහ නායක Saad Baig සමත් වුනා.

ඔවුන් අතුරින් නායක Saad Baig පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගත් අතර එය පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූවා. Azan Awais පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

එතැන් සිට ලකුණු 16ක් තුළ කඩුලු 4ක් දවා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයෝ සමත් වූවා. ඒ අනුව ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 121ක් ලෙසින් දැක් වුණා. නමුත් 8 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වූ Ali Asfand සහ Amir Hassan ලකුණු 44ක සබඳතාවක් එක් කරමින් තරගයේ ජයග්‍රහණයට ආසන්න වීමට තම කණ්ඩායම ගෙන ඒමට සමත් වූවා.

Amir Hassan පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27කට දැවී යෑමත් සමඟින් නැවත තරගය අරාබි ක්‍රීඩකයන් වෙත නැඹුරු වූවා. ඒ අනුව අවසන් පන්දුවාරය ආරම්භ වූයේ පාකිස්තානුවන්ට ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 6ක් තුළ කඩුලු 2ක් ඉතිරිව ලකුණු 12ක අවශ්‍යතාවක් සමඟිනුයි.

එහෙත් එම පන්දුවාරයේ පන්දු 3ක් තුළ කිසිදු ලකුණක් නොදී ඉතිරිව තිබූ කඩුලු 2 දවා ගැනීමට Ayman Ahamed සමත් වූවා. තරගය අවසන් වන විට Ali Asfand පන්දු 61කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.

පාකිස්තාන කඩුලු දවා ගැනීමේ දී Ayman Ahamed සහ Hardik Pai කඩුලු 2 බැගින් බෙදා ගැනීමට සමත් වූවා.

1 වැනි අවසන් පූර්ව තරගය, Dubai, 15 දෙසැම්බර්, 2023, ACC U19 Asia Cup

  • ක්‍රීඩාංගණය – ICC Academy, Dubai
  • කාසියේ වාසිය – පාකිස්තානය
    • තරගයේ වීරයා – Aayan Afzal Khan (UAE)

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වයස අවුරදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 193 (47.5) Aryansh Sharma 46, Ethan D’Souza 37, Aayan Afzal Khan 55, Ubaid Shah 4/44, Ali Asfand 2/29, Arafat Minhas 2/28

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 182 (49.3) Azan Awais 41, Saad Baig 50, Amir Hassan 27, Ayman Ahamed 2/18, Hardik Pai 2/35

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට ලකුණු 11ක ජයක්.

මෙම තරගයට බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වෙන්නේ පළමු වටයේ දී අපරාජිත කණ්ඩායම ලෙසයි. නමුත් ඉන්දියාව ඒ වෙද්දී පාකිස්තානය හමුවේ පරාජය වී තිබුණා. කෙසේ වෙතත් කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායකයා ප්‍රබල ඉන්දීය කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 188කට දැවී ගියා. මේ දැවී යෑමේ දී බංග්ලාදේශයේ ආරම්භක වමත් වේග පන්දු යවන්නා වූ Maruf Mridha ලකුණු 41කට කඩුලු 4ක් දවා ගත්තා. ඉන් කඩුලු 3ක් ම ඉන්දීය කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවෝ වීම විශේෂත්වයක්. ඔවුන් තිදෙනාගේ දැවී යෑමත් සමඟින් ඉන්දීය ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 13ක් ලෙසයි.

අනතුරුව ඉන්දීය කණ්ඩායමට Musheer Khan සහ Murugan Abhishek එක් ව ලබා ගත් අර්ධ ශතක 2ට පිහිට වෙන්නට ලකුණු 188ක් දක්වා ගමනක නිරත වුනා.

කඩුලු දවා ගැනීමේ දී Maruf Mridhaට අමතර ව Rohanat Doullah Borson සහ Sheikh Paevez Jibon කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශයේ ආරම්භක කඩුලු ත්‍රිත්වය ද ලබා ගත්තේ ලකුණු 34ක් පමණයි. ඉන් අනතුරුව සිවු වැනි කඩුල්ල වෙනුවෙන් Ariful Islam සහ Ahrar Amin එක් ව පන්දු 166ක දී ලකුණු 138ක සබඳතාවක් එක් කළා.

ඔවුන් දෙදෙනා අතුරින් පන්දු 90ක දී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 94ක් ලබා ගත් Ariful Islam දැවී යද්දී ලකුණු පුවරුව 172ක් ව තිබුණා. Ahrar Amin පන්දු 101ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 44කට දැවී යද්දී ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලෙසයි. ඒ වෙද්දී ඉන්දීය ක්‍රීඩකයෝ පරාජය ආසන්නයට පැමිණි තිබුණ අතර තවත් පන්දු 9ක් යැවුණ තැන බංග්ලාදේශය කඩුලු 6කට ලකුණු 189ක් ලබා තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.

ඉන්දීය පන්දු යවන්නන් වෙනුවෙන් Naman Tiwari කඩුලු 3ක් දවා ගත් අතර Raj Limbani කඩුලු 2ක් දවා ගත්තා.

2 වැනි අවසන් පූර්ව තරගය, Dubai, 15 දෙසැම්බර්, 2023, ACC U19 Asia Cup

  • ක්‍රීඩාංගණය – ICC Academy Ground No 2, Dubai
  • කාසියේ වාසිය – බංග්ලාදේශය
    • තරගයේ වීරයා – Maruf Mridha (බංග්ලාදේශය)

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 188 (42.4) Musheer Khan 50, Murugan Abhishek 62, Maruf Mridha 4/41, Rohanat Doullah Borson 2/39, Sheikh Paevez Jibon 2/29

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 189 (42.5) Ariful Islam 94, Ahrar Amin 44, Raj Limbani 2/47, Naman Tiwari 3/35

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

මෙම කණ්ඩායම් 2 අවසන් මහා තරගයක් සඳහා පළමු වරට හමු වූව ද මෙවර තරගාවලියේ පළමු වටයේ දී පැවැති තරගයේ දී එකිනෙකා හමු වූ අවස්ථාවේ දී බංග්ලාදේශය ලෙහෙසියෙන් ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 61ක ජයග්‍රහණයක් වාර්තා කරනවා. එබැවින් ඔවුන් මෙම තරගයේ දී ප්‍රතිවාදීන් පහසුවෙන් ම පරාජය කිරීමට හැකි වෙතැයි යන විශ්වාසයෙන් යුතුව තරගයට පිවිසෙනු නියතයි.

නමුත් ඔවුන් පරාජිත එම තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ දී ලකුණු 220ක් හඹාගෙන ගොස් කඩුලු 2ක ජයග්‍රහණයක් ද සහ ජපානයට එරෙහිව කඩුලු 7කට ලකුණු 307ක් ලබා ගනිමින් ලකුණු 107ක ජයග්‍රහණයක් ද ලබා ගනිමින් හොඳින් ලකුණු අතරට පිවිස සිටිනවා.

එමෙන් ම ඔවුන් අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල පාකිස්තානය හමුවේ ලකුණු 193කට දැවී ගිය ද එම සීමාවට එන්නට නොදී පාලනය කිරීමට හැකි පන්දු යැවීමේ බලඇණියක් ද තමන් සතුව සිටින බැව් ඔප්පුකර පෙන්වූවා.

එබැවින් මෙම තරගයේ දී අපට බලා සිටීමට සිදු වෙන්නේ මෙවර ආසියානු කුසලානය කෝඩුකාර එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයන්ට ද හෝ වරක් ආසියානු කුසලාන අනුශූරයන් වූ බංග්ලාදේශයට ද යන වගයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<