ශ්‍රී ලංකා යෞවනයෝ වේලාසනින් ම ගෙදර එයි

956

ආසියානු ක්‍රිකට් කවුන්සිලය 10 වැනි වරටත් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලියට ආසන්නත ම අනුශූරයන් ලෙසින් සහභාගී වූ ශ්‍රී ලංකා යෞවනයෝ මෙවර පළමු වටයෙන් ම තම ගමනට තිත තැබුවා.

  • තරගාවලියේ ශ්‍රී ලංකා යෞවනයන්ගේ ගමන් මඟ
ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵලය
1 ජපානය ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්.
2 UAE UAE කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
3 බංග්ලාදේශය බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා යෞවනයෝ තරගාවලිය නිමා කිරීමට පෙර වේලාසනින් ම තමන්ගේ තරග කෝටාව අවසන් කර ගත්තේ අවාසනාවන්ත තරග පරාජයන් 2ක් සමඟයි. එහි දී ඔවුන් එක් තරගයක් ජයග්‍රහණය කරමින් තරග 2ක් පරාජය වෙමින් තමන් සහභාගී වූ කාණ්ඩයේ ලබා ගත්තේ තෙවැනි ස්ථානයයි.

සහභාගී වූ ප්‍රතිවාදී කණ්ඩායම් ත්‍රිත්වයෙන් තවමත් යොවුන් එක්දින වරම් ලැබී ඇත්තේ බංග්ලාදේශයට පමණක් වන අතර ජපානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තවමත් සිටින්නේ ඒ සඳහා එක් වීමේ බලාපොරොත්තු ලැයිස්තුවේයි. ඒ අතුරින් ජපාන කණ්ඩායමට එරෙහිව ලැබූ ජයග්‍රහණය කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරාජය වීමයි දරා ගත නොහැක්කේ.

මෙම තරගාවලියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා යෞවනයන්ට එරෙහි ව හඹා යන ඉනිමකට සහභාගී වෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 224ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය තවත් පන්දු 10ක් ඉතිරිව ලබා ගත්තේ ශ්‍රී ලංකා යෞවනයෝ නිරුත්තර කරමින්. එය තරගාවලියේ අතර මඟින් හැරීමට සිදු වූ ප්‍රබලත ම හේතුව ලෙසින් ද හැඳින්විය හැකියි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩකයෝ ඊට පසු තරගයේ දී ද තම තරම පෙන්වමින් ජපාන කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක් දැවී ලකුණු 320ක් ලබා ගනිමින් එම තරගයෙන් ලකුණු 107ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ සමඟින් ඔවුන් B කාණ්ඩයෙන් බංග්ලාදේශය සමඟ එක් වෙමින් ඊළඟ වටයට සුදුසුකම් ලබා ගත්තා. ඔවුන්ගේ මෙම ගමනට පාර සකසා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පෑ දුර්වලා යැයි සැක හැර පැවැසිය හැකියි.

කෙසේ වෙතත් මෙම නිමාවත් සමඟින් මෙතෙක් සහභාගී වූ ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගමාලාවන් හි දී පළමු වටයෙන් ගෙදර ඒමට සිදු වූ 2 වැනි අවස්ථාවයි මේ.

මීට පෙර 2017 වසරේ දී කමිඳු මෙන්ඩිස් ගේ නායකත්වය යටතේ සහභාගී වූ තරගාවලියේ දී ශ්‍රී ලංකා යෞවනයෝ B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ අතර එහි දී UAE කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයක්, ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 61ක ජයක් සහ පාකිස්තානය වෙතින් කඩුලු 3ක පරාජයක් ලෙසින් පළමු වටය නිමා කරනවා.

මෙම තරග නිමා කිරීම් අනුව ඔවුන් ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ ශ්‍රේණිගත වන්නේ තෙවැනි ස්ථානයටයි. එම කාණ්ඩයෙන් පළමු ස්ථාන 2ට ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය පත් වෙමින් ඉදිරියට යන අතර ශ්‍රී ලංකාව පළමු වතාවට එම වටයෙන් තම ගමන් නිමා කරනවා.

ඊට පසුවයි, ඔවුන් ඒ ආකාරයෙන් මෙවර තරගාවලිය නිමා කරන්නේ.

  • ශ්‍රී ලංකා යෞවනයන්ගේ ආසියානු කුසලාන තරගමාලාවන් හී දක්ෂතා
සත්කාරකත්වය ශ්‍රී ලංකා යෞවනයෝ තරගාවලිය අවසන් කළ අයුරු වසර
1 බංග්ලාදේශය අනුශූරතාව (ප්‍රතිවාදින් ඉන්දියාව) 1989
2 පාකිස්තානය අනුශූරතාව (ප්‍රතිවාදින් ඉන්දියාව) 2003
3 මැලේසියාව අවසන් පූර්ව වටය දක්වා. (ප්‍රතිවාදීන් ඉන්දියාව) 2012
4 UAE අවසන් පූර්ව වටය දක්වා. (ප්‍රතිවාදින් ඉන්දියාව) 2013/14
5 ශ්‍රී ලංකාව අනුශූරතාව (ප්‍රතිවාදින් ඉන්දියාව) 2016
6 මැලේසියාව පළමු වටය දක්වා පමණයි. 2017
7 බංග්ලාදේශය අනුශූරතාව (ප්‍රතිවාදින් ඉන්දියාව) 2018
8 ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය දක්වා. (ප්‍රතිවාදින් ඉන්දියාව) 2019
9 UAE අනුශූරතාව (ප්‍රතිවාදින් ඉන්දියාව) 2021
10 UAE පළමු වටය දක්වා පමණයි. 2023

ශ්‍රී ලංකා යෞවනයන්ගේ පිතිකරු දක්ෂතා

ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුව වෙන කවරදාටත් වඩා පහත් මට්ටමකට පත් වීම මෙම තරගාවලියේ මේ ප්‍රතිඵලයට බලපෑ ප්‍රධාන හේතුවෙක් ලෙස දැක් විය හැකියි. තරගාවලියේ ම ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ එක් අර්ධ ශතකයක් පමණක් සටහන් වීමෙන් එම තරම සිතා ගත හැකියි.

ඒ අනුව නිමා වූ තරග ත්‍රිත්වයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක සිනෙත් ජයවර්ධන. ඔහු තරග 3ක ඉනිම් 3 දී ලකුණු 100ක් ලබා ගන්නවා. UAE කණ්ඩායමට එරෙහිව පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟ ලබා ගත් ලකුණු 49 ඔහුගේ හොඳම ඉනිමයි.

සංචාරයේ වාර්තා වූ එක ම එක් අර්ධ ශතකයකයේ හිමිකාරීත්වය දිනුර කළුපහන සතු වූවා. ඔහු UAE කණ්ඩායමට එරෙහි ව පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා ගන්නවා. මෙම අර්ධ ශතකයත් සමඟින් ඔහු තරගාවලියේ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 82ක්. එහි සාමාන්‍ය 82.00ක් ලෙසින් පවත්වා ගැනීමටත් ඔහු සමත් වෙන අතර පිතිකරුවන්ගේ දක්ෂතා අතර 2 වැනි අසුන ඔහුට හිමි වෙනවා.

එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමි වෙන්නේ රුසඳ ගමගේ වෙතයි. ඔහු තරග 3ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 68ක්. එහි සිවු වැනි ස්ථානය තරග 3ක දී ලකුණු 65ක් ලබා ගත් පුලිඳු පෙරේරා සතු වෙනවා.

විශ්ව ලහිරු තරග 3ක දී ලකුණු 52ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානයට පත් වෙනවා. අනෙක් ක්‍රීඩකයන් අතුරින් වැඩිම ලකුණුලාභියා වූයේ කඩුලු රැකි ක්‍රීඩක ශාරුජන් ශම්මුගනාදන්. ඔහු තරග 3ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24ක්.

ශ්‍රී ලංකා යෞවනයන්ගේ පන්දු යැවීම

සංචාරයට එක් වූ පන්දු යවන්නන්ගෙන් ද එතරම් ම සේවයක් කණ්ඩායම වෙත ඉටු නොවූ බවකුයි බැලූ බැල්මට ම පෙනී යන්නේ.

තරගවලට එක් වූ සෑම පන්දු යවන්නෙක් ම මෙම තරගාවලියේ දී ප්‍රතිවාදීන් වෙතින් ප්‍රබල පීඩනයකට ලක් වූ බවක් ලකුණු සටහන් පත් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ. කඩුලු දවා ගත් සෑම පන්දු යවන්නෙක් ම එක් කඩුල්ලක් දවා ගැනීමේ දී ලකුණු 15-20ත් අතර ප්‍රමාණයක් ප්‍රතිවාදීන්ට ලබා තිබෙනවා. එය තරගාවලියක දී සිදු නොවිය යුතු දෙයක්.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් දවා ගන්නේ කඩුලු 20ක් පමණක් වන අතර එය පන්දු යවන්නන් 6 දෙනෙක් අතර බෙදී යනවා. තවත් පන්දු යවන්නෝ තිදෙනෙක් ද පන්දු යැවීම සඳහා යොමු කළ ද ඔවුන්ට කඩුලු ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ.

පන්දු යවන්නන්ගේ දක්ෂතා අතර ඉදිරියෙන් ම සිටින්නේ දකුණතින් මඳ වේග පන්දු යවන ගරුක සංකේත්. ඔහු තරග 3 දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 7ක්. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 35කට දවා ගන්නා ලද කඩුලු 3යි.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය කණ්ඩායමේ උප නායක මල්ෂ තරුපති වෙත හිමි වෙනවා. ඔහු තරග 3ක දී කඩුලු 5ක් ලබා ගන්නා ලද අතර තරගාවලියේ ශ්‍රී ලංකා යෞවනයන් වෙතින් පෑ ඉහළ ම දක්ෂතා දැක් වීමට ද ඔහු සමත් වෙනවා. ඒ ජපාන කණ්ඩායමට එරෙහිව ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමිනුයි.

එම දක්ෂතාව වෙනුවෙන් ඔහුගේ එම තරගයේ වීරයා සම්මානය ද හිමි වූ අතර එය ශ්‍රි ලංකා කණ්ඩායමට ලැබුණ එක ම සම්මානය ද එය වූවා.

වමතින් දඟ පන්දු යවන විශ්ව ලහිරු කඩුලු 3ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් වෙනවා. ඔහුගේ කඩුලු 3 වාර්තා වන්නේ තරගයකට එකක් පමණක් ලෙසින් එකතු වෙමිනුයි.

දකුණතින් මඳ වේග පන්දු යවන දුවිඳු රණතුංග සහ දකුණිතින් පිට දඟ පන්දු යවන විහස් තෙව්මික ද තරගයකට එක් කඩුල්ල බැගින් කඩුලු 2ක් බැගින් ලබා ගෙන මෙම ලැයිස්තුවට ඊට පසුව එක් වෙනවා.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයක් මුව විට තබා ගනිමින් පැවැති මෙම තරගාවලියේ ප්‍රතිඵලය, මෙරට යෞවන තරගකරුවන්ගේ තරම ගැන අතුරු කතා එක් කරන කැඩපතක් දෝ යන කුකුස මතු වෙනවා. නමුත් ඔවුන් නිමා කළ ආසන්නත ම තරගාවලියන් හී දී ප්‍රතිවාදීන්ට කදිමට මුහුණ දුන් ආකාරය දැක ගැනීමට හැකි වූවා. බටහිර ඉන්දීය කොදෙව් සංචාරය, පාකිස්තාන සංචාරය සහ ඇෆ්ගනිස්තාන සංචාරයේ පෑ දක්ෂතා ප්‍රබල මට්ටමක පැවැතිය ද මෙම තරගාවලියේ දී අප කිසිවෙකුත් එම දක්ෂතා දුටුවේ නැහැ.

අවශ්‍ය ම තරගාවලියක දී ඒ දක්ෂතා මතු නොවීම බලවත් වරදක්. ඉහත තරගාවලියන් ත්‍රිත්වයේ දී මෙම තරග සංචාරයට එක් වූ ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයකගෙන් ම මෙම කණ්ඩායම සමන්විත වූවා. එබැවින් මේ පෑ දුර්වලතාවන්ට වගකිව යුත්තේ ද ඔවුන්මයි. ඒ පිළිබඳ ව තම තමන් ගේ ම ස්වයං විවේචනාත්මක මතින් නිවැරදි කර ගැනීම ඔවුන් විසින් කර ගත යුතුයි.

ඒ මෙම තරගාවලියට එක් වෙන විට ම පැවැසුවේ මෙම කණ්ඩායම ම වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට ද එක් වෙන බැව් පැවසා ඇති බැවිනුයි. ඔවුන් එවන් ස්වයං පසුබැල්මකින් වහාම නිවැරදි නොවන්නේ නම් එළැඹෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින තරගාවලිය ගැන තැබෙන බලාපොරොත්තු අල්ප වීම වැලැක්විය නොහැකියි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<