ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු මුල් පුටුවෙහි වෙනසක්

1372
Upul Tharanga named as chairman of new cricket selection committee

හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත් කර ක්‍රීඩා අමාත්‍යවරයා තහවුරු කර සිටියා. 

නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ තහවුරු කර සිටියේ අද (04) පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුරයි. 

ඒ අනුව 2021 වසරේ සිට මේ දක්වා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රමෝද් වික්‍රමසිංහගේ ධුර කාලය අවසන් වන අතර නව ක්‍රිකට් තේරිම් කමිටු ප්‍රධානියා ලෙස උපුල් තරංග කටයුතු කිරීමට නියමිතයි. 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 292ක් ක්‍රීඩා කළ තරංග ශතක 18ක් සමඟ ලකුණු 9112ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහු 2016 සිට 17 දක්වා තරග 27ක ශ්‍රී ලංකා කණ්ඩයමේ නායකයා ලෙස ද කටයුතු කිරීම විශේෂත්වයක්.  

එමෙන්ම ආරංචි මාර්ග වලට අනුව නව තේරීම් කමිටුව සඳහා හිටපු ක්‍රීඩකයින් වන අජන්ත මෙන්ඩිස් සහ තරංග පරණවිතාන ඇතුළත් බව ද වාර්තා වෙනවා.  

ඒ අනුව උපුල් තරංග ප්‍රමුඛ නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු කාර්යය වන්නේ ජනවාරි මස පැවැත්වෙන සිම්බාබ්වේ තරගාවලිය සඳහා ක්‍රිකට් සංචිතය නම් කිරීමයි.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<