ඉන්දියාව, ඕස්ට්‍රේලියාවෙන් දශක 2ක වාඩුව ගනී ද?

ICC World Cup 2023

541

13 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (19) ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර Ahmedabad හි Narendra Modi ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ අපරාජිතව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් ඉන්දියානුවෝ මෙම තරගයට එක් වෙන්නේ 1983 සහ 2011 වසර ද්විත්වයේ ද ශූරයන් ලෙසින් මෙන් ම 2003 වසරේ දී ලත් අනුශූරතාවේ මතකයන් ද තුරුළු කර ගනිමිනුයි. ඊටත් වඩා ඔවුන් සතුව පවතින විශ්වාසය වන්නේ ඔවුන් සුපුරුදු තණතිලි මත දී ම මෙම තරගය පැවැත්විමයි.

ඉන්දියාව ඒ ලෙසින් මෙම තරගයට එක් වෙද්දී ඕස්ට්‍රේලියාව ද මෙම තරගයට එක් වෙන්නේ මේ වෙද්දී අවස්ථා 5ක දී ලෝක ශූරයන් වී, වැඩිම වාර ගණනක දී ලෝක ශූරයන් වූ ආඩම්බරයත් සමඟිනුයි. ඊට අමතර ව ඔවුන් අවස්ථා 2ක දී අනුශූරයන් වෙමින් ද වැඩිම වාර ගණනක දී අවසන් මහා තරග නියෝජනය කළ කණ්ඩායම ලෙසින් ද වර්ගීකරණයට ලක් වෙමින් මෙම තරගය හා එක් වෙනවා.

ඒ අනුව එක්දින ලෝක කුසලාන තරගමාලාවන් හී ඕස්ට්‍රේලියාව 8 වැනි වරටත් සහ  ඉන්දියාව සිව්වැනි වරටත් එක් වෙන අවසන් මහා තරගය ලෙසින් මෙය ඉතිහාසයට එක් වෙනවා.

මීට පෙර දෙරට ක්‍රීඩකයෝ 2003 වසරේ දී ද අවසන් මහා තරගයක් සඳහා එක් වෙන අතර එවර ලකුණු 125ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ සමත් වෙනවා. එම තරගයෙන් අනතුරුවයි දෙරට ක්‍රීඩකයෝ ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට පිවිසෙන්නේ.

ඕස්ට්‍රේලියාව මෙම තරගාවලිය ආරම්භ කරන්නේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව වෙතින් පරාජය වෙමිනුයි. නමුත් ඔවුන් ඉන් පසුව පැවැති තරග 7 ම ජයග්‍රහණය කරනවා පමණක් නොව, පළමු වටයේ දී පරාජය වූ දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව අවසන් පූර්ව වටයේ තරගයේ දී ජයග්‍රහණය කරමිනුයි මෙම කඩඉමට පිවිසෙන්නේ.

කෙසේ වෙතත් පළමු වටයේ දී ඉන්දියාව වෙතින් ලත් පරාජය ඔවුන්ගේ හිත් හී වදදෙන මාතෘකාවක් වී ඇතිවාට කිසිදු සැකයක් නැහැ.

  • ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව
  • 5 වැනි තරගය (දිවා/රාත්‍රී) Chennai, ඔක්තෝබර් 08, 2023, ICC Cricket World Cup

o කාසියේ වාසිය – ඕස්ට්‍රේලියාව

o තරගයේ වීරයා – KL Rahul (ඉන්දියාව)

ඕස්ට්‍රේලියාව – සියලුම දෙනා දැවී 199 (49.3) David Warner 41, Steven Smith 46, Marnus Labuschagne 27, Mitchell Starc  28,  Jasprit Bumrah 2/35, Kuldeep Yadav 2/42, Ravindra Jadeja 3/28

ඉන්දියාව – කඩුලු 4ක් දැවී 201 (41.2) Virat Kohli 85, KL Rahul නොදැවී 97, Josh Hazlewood 3/38

ඉන්දියාවට කඩුලු 6ක ජයක්.

ඉන්දියා – ඕස්ට්‍රේලියා ලෝක කුසලනා තරග ඉතිහාසය

දෙරට ලෝක කුසලාන තරග ඉතිහාසයේ මේ දක්වා තරග 13කට සහභාගී වී ඇති අතර ඉන් තරග 8ක ජයග්‍රහණ ඉන්දියාව සතු වෙද්දී තරග 5ක ජයග්‍රහණ ඕස්ට්‍රේලියාව සතු වෙනවා.

වැඩි තරගකාරීත්වයකින් යුත් ලෝක කුසලාන තරගාවලියේ දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 2003 වසරේ දී ඕස්ට්‍රේලියාව විසින් කඩුලු 2ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 359යි.

ඉන්දීය කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 2019 වසරේ දී කඩුලු 5ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 357යි.

දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ 2003 වසරේ දී ඉන්දියාව දැවී ගිය ලකුණු 125යි.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හමුවේ 1983 වසරේ දී ලකුණු 129කට දැවී ගිය අතර එය ඕස්ට්‍රේලියා ලෝක කුසලාන තරග ඉතිහාසයේ අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය අවස්ථාව ලෙසින් ද සටහන් වෙනවා.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ දෙරට එක් ව වැඩිම ලකුණු ලබා ඇත්තේ 2003 වසරේ දී ලබා ගත් ලකුණු 593යි.

ඉන්දීය පිතිකරුවෙක් විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන්නේ 2019 වසරේ දී Shikhar Dhawan විසින් පන්දු 163කට මුහුණ දී හතරේ පහර 16ක් සමඟින් ලබා ගත් ලකුණු 117 වන අතර ඕස්ට්‍රේලියා පිතිකරුවෙක් ඉන්දියාවට එරෙහිව ලබා ඇති වැඩිම ලකුණු සංඛයාව වන්නේ 2003 වසරේ දී Ricky Ponting විසින් පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලබා ඇති ලකුණු 140යි.

දෙරට ලෝක කුසලාන තරග ඉතිහාසයේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව වනුයේ 1983 වසරේ දී ඕස්ට්‍රේලියාවේ Ken MacLeay ලකුණු 39කට දවා ගත් කඩුලු 6යි. එවකට එක්දින තරග පන්දු ඕවර 60කින් සමන්විත වූ අතර Ken MacLeay ඒ සඳහා පන්දුවාර 11.5ක් වැය කර තිබුණා. ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය පන්දු යවන්නෙක් ගේ ඉහළ ම දක්ෂතාව වනුයේ ද එම තරගයේ දී ම Kapil Dev විසින් ලකුණු 43කට දවා ගත් කඩුලු 5යි.

දෙරට ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසය

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 150කට මුහුණ දී ඇති අතර ඉන් තරග 83ක් ජයග්‍රහණය කරන්නේ ඉන්දියාවයි. තරග 57ක ජයග්‍රහණය ඕස්ට්‍රේලියාව සතු වෙද්දී ඉතිරි තරග 10 නිමා වෙන්නේ විසඳුමකින් තොරවයි.

දෙරට තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වෙන්නේ ලෝක කුසලාන තරගාවලියට මාසයකට පමණ පෙර Indore හි පැවැති තරගයේ දී ඉන්දියාව විසින් කඩුලු 5ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 399යි. ඕස්ට්‍රේලියාව ඉන්දියාවට එරෙහිව වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව වන්නේ 2020 වසරේ දී කඩුලු 4කට ලබා ගත් ලකුණු 389යි.

දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව වන්නේ 1981 වසරේ දී පන්දුවාර 25.5ක දී ඉන්දියාව දැවී ගිය ලකුණු 63යි. ඕස්ට්‍රේලියාව ඉන්දියාව ඉදිරියේ දී එලෙස දැවී යන්නේ 1991 දී ලකුණු 101ටයි.

කණ්ඩායම් 2 එක් ව තරගයක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වෙන්නේ 2020 වසරේ දී Sydney ක්‍රීඩාංගණයේ දී ලබා ගත් ලකුණු 727යි.

දෙරට පිතිකරුවන් අතුරින් කණ්ඩායමකට එරෙහිව ලබා ඇති වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වන්නේ 2013 වසරේ දී Rohit Sharma විසින් පන්දු 158කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 16ක් සමඟින් ලබා ගත් ලකුණු 209යි. එය ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩකයෙක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛයාව ද වෙනවා.

George Bailey 2013 වසරේ දී පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 6ක් සමඟින් ලබා ගත් ලකුණු 156 ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ඕස්ට්‍රේලියාවට එරෙහිව හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ 2007 වසරේ දී  Murali Kartik විසින් ලකුණු 27කට ලබා ගන්නා ලද කඩුලු 6 වන අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් 1983 ලෝක කුසලානයේ දී ලකුණු 39කට කඩුලු 6ක් දවා ගත් Ken MacLeay එහි රැදී සිටිනවා.

මෙම තරගයේ දී අවධානයට යොමුවන පිතිකරුවන්

මෙතෙක් නිමා වූ තරගවල දී පිතිකරු ලැයිස්තුවේ ප්‍රමුඛයා බවට පත් වීමට ඉන්දියාවේ Virat Kohli සමත් ව සිටිනවා. ඔහු මෙතෙක් තරග 10ක දී ලබා සිටින ලද ලකුණු සංඛ්‍යාව 711ක්. ඒ හේතුවෙන් ම ඉන්දිය කණ්ඩායම බොහෝ විට කැරකෙමින් පවතින්නේ ඔහුගේ දක්ෂතා මතයි.

ඉන් අනතුරුව එම ලැයිස්තුවේ පළමු 10 දෙනා අතර 5 වැනි ස්ථානයට ඉන්දීය නායක Rohit Sharma එක් වෙනවා. ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 550ක්. මෙවර තරගාවලියේ ඔහුගේ හොඳම ඉනිම වන ඇෆ්ගනිස්තානයට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 131 ලැයිස්තු ගත වෙන්නේ 10 වැනි ස්ථානයටයි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එහි අසුනක් වෙන් වෙන්නේ ඊට පසුවයි. ඒ David Warner වෙතයි. ඔහු තරග 10ක දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 528ක් වන අතර තරගයක දී ලැබූ වැඩිම ලකුණුලාභීන් අතර ඔහු පාකිස්තානයට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 163 ද තිබෙනවා.

නැවත වතාවක් එම ලැයිස්තුවේ 7 වැනි ස්ථානය දිනා ගැනීමට ඉන්දියාවේ Shreyas Iyer සමත් වෙනවා. ඔහු ලකුණු 526ක් ලබා ගනිමින් එහි රැදී සිටිනවා.

එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානයට නැවත ඕස්ට්‍රේලියානුවෙන් පත් වෙනවා. ඒ Mitchell Marsh. ඔහු මෙම ස්ථානයට පත් වෙන්නේ තරග 9ක දී ලකුණු 426ක් ලබා ගනිමිනුයි. ඔහුගේ මෙම ලකුණු අතරට මෙවර තරගාවලියේ ඉහළ ම ඉනිම් අතර 2 වැනි ස්ථානයට පත් වූ බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 177 ද ඇතුලත්.

මෙම ලැයිස්තුවේ ඉදිරි පෙළ අසුනක් හිමි නොවූන ද ඔස්ට්‍රේලියාවේ Glenn Maxwell ද තරගයට එක් වෙන දඩබ්බර පිතිකරුවෙක් ලෙසින් හැඳින්විය හැකිය. මෙවර තරගාවලියේ ක්‍රීඩකයෙක් විසින් තරගයක දී පෞද්ගලිවකව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ඔහු සතු වෙනවා. ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 201යි.

මෙම තරගයේ දී අවධානයට යොමුවන පන්දු යවන්නන්

මෙම තරගයේ දී වඩාත් අවධානය යොමු වන පන්දු යවන්නා වන්නේ ඉන්දියාවේ දකුණතින් වේග පන්දු යවන Mohammed Shami. ඔහු මේ දක්වා තරග 6ක දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 23ක් වන අතර කඩුලුලාභීන් අතර පළමු ස්ථානයට පත් දක්ෂතාවයි.

මේ දක්ෂතා අතර කඩුලු 5කට වැඩියෙන් අවස්ථා 3ක් ඔහු විසින් වාර්තා කර ඇති අතර එය මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් විසින් පෑ එක ම දක්ෂතාවයි.

ඔහු පස පස ම යන ඕස්ට්‍රේලියාවේ වමත් දඟ පන්දු යවන Adam Zampa අවධානය ලක් කර ගත් පන්දු යවන්නෙක් ලෙසින් හැඳින්විය හැකියි. ඔහු මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 22ක්.

මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු 10 දෙනා අතර සිටින එක ම පන්දු යවන්නා ද වන්නේ ඔහුයි.

මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානයට ඉන්දියාවේ Jasprit Bumrah පත් වෙන්නේ තම ගිණුමට කඩුලු 18ක් එක් කර ගනිමිනුයි. ඊට අමතර ව කඩුලු 16ක් ලබා සිටින Ravindra Jadeja එහි 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

අද තරගයේ දී පිටියට පිවිසෙතැයි සිතෙන ක්‍රීඩකයෝ

ඉන්දීය කණ්ඩායම: Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul (කඩුලු රකින්නා), Suryakumar Yadav, Ravindra Jadeja, Mohammed Shami, Kuldeep Yadav, Jasprit Bumrah, Mohammed Siraj.

ඕස්ට්‍රේලියා කණ්ඩායම: Pat Cummins (නායක), David Warner, Travis Head, Mitchell Marsh, Steven Smith, Marnus Labuschagne, Josh Inglis (කඩුලු රකින්නා), Glenn Maxwell, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<