දැල්පන්දුවේත්, පැසිපන්දුවේත් රැජින “මල්මි”

509

පසුගිය දා රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී නිමා වූ වෙළඳසේවා පැසිපන්දු තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ ලියාරා මල්මි හෙට්ටිආරච්චි සමත් වුනා.

මේ වසර ආරම්භයේ නිමා වූ වෙළඳසේවා දැල්පන්දු තරගාවලියේ දී ද දැල්පන්දු රැජණ ලෙසින් පත් වූයේ ඇයයි.

“පැසිපන්දු තරගාවලියේ වටිනාම ක්‍රීඩාකාව වගේ ම අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන ලැබීම ගැන ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේ ම පසුගිය වසරේ මාර්තු මාසයේ දී පමණ නිමා වූ වෙළඳසේවා දැල්පන්දු තරගාවලියේ දී ද දැල්පන්දු රැජින ලෙසින් සම්මාන දිනා ගත්තේ මම. ක්‍රීඩා දෙකක දී එක ම වසරේ දී දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මනා දිනා ගැනීම කලාතුරකින් සිදු වන දෙයක්. ඒ දක්ෂතාව දැක්වීමට ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා,” මල්මි හෙට්ටිආරච්චි ThePapare.com එක් වෙමින් පැවසුවා.

මල්මි, පසුගිය පෙබරවාරියේ දී නිමා වූ Dialog ජාතික දැල්පන්දු තරගාවලියේ දී ද ශූරතාව දිනා ගත් හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ සාමාජිකාවක්. ඔවුන් එම ශූරතාව එවර දිනා ගන්නේ පිට පිට සිව්වැනි වරටයි. එමෙන් ම, මල්මි ආසියානු ශූරතාව දිනා ගත් දැල්පන්දු කණ්ඩායමේ මෙන් ම අවසන් වරට දකුණු අප්‍රිකාවේ දී පැවති 16 වැනි දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකාවක් ද වුනා.

මල්මි පළමු වරට ශ්‍රි ලංකාව නියෝජනය කරන්නේ පැසිපන්දු ක්‍රීඩාවෙන්. ඒ, පාසල් අවදියේ සිටිය දී ඉන්දියාවේ පැවති ආසියානු වයස අවුරුදු 16න් පහළ පැසිපන්දු ශූරතාවලිය නියෝජනය කරමිනුයි. ඊට පසුව ඇය නැවතත් පැසිපන්දු තරගාවලියක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙන්නේ මොංගෝලියාවේ දී 2022 වසරේ දී පැවති ලෝක කුසලාන 3×3 ශූරතාවලිය වෙනුවෙන්. ඉන්පසුව මේ වසරේ දී මාලදිවයිනේ දී පැවති ජාත්‍යන්තර ක්‍රීඩා සමාජ ශූරතාවලියට ද ඇය සහභාගී වෙනවා.

“නියෝජනය කළ සෑම තරගාවලියක ම දැල්පන්දු වගේ ම පැසිපන්දු කණ්ඩායම්වල සාමාජිකයන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. එහෙම නැත්නම් මේ වගේ දක්ෂතා අතරට එන්න අපහසුයි. ඒ වගේ ම මේ ක්‍රීඩා දෙක ම කරගෙන යන්න හැටන් නැෂනල් බැංකු ආයතනයෙන් විශාල සහයෝගයක් සහ නිදහසක් මට ලබා දීල තියෙනවා. ඒක මා වැනි ක්‍රීඩිකාවක්ට විශාල ශක්තියක්.”

කොළඹ, සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකාවෙන් ක්‍රීඩා පිටියට එක් වූ මල්මිගේ ක්‍රීඩා ජීවිතයේ ආරම්භය කවදා, කොතැන, කෙලෙස සිදු වූවා දැයි කීමට තරම් මතකයක් ඇයට නැහැ.

ඒ ඇය ඉපදෙන්නටත් පෙර සිට ම හෙට්ටිආරච්චි පවුල ක්‍රීඩාවේ අක්-මුල් සිසාරා විහිද ගිය පිරිසක් බැවිනුයි.

මල්මිගේ පියා දමින්ද හෙට්ටිආරචිචි මහතා, ශ්‍රී ලංකා පැසිපන්දු ජාතික කණ්ඩායමේ සාමාජිකයෙක්. මව මනෝරි හෙට්ටිආරච්චි මහත්මිය ද ජාතික පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළ අතර පාසල් දැල්පන්දු කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩිකාවක්.

“තාත්තා දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයෙක්. අම්මා, පැසිපන්දු වගේ ම දැල්පන්දු ක්‍රීඩාවේත් දක්ෂතා දැක්වූවා. ඒ පුරුදු මටත් එන්න ඇති. කොහොමටත් මම පුංචි කාලයේ සිට ම අම්මත්, තාත්තත් එක්ක ක්‍රීඩාංගණවලට යනවා. ඒ දෙන්න සෙල්ලම් කරල එනකම් මම තනියම සෙල්ලම් කර කර සිටියා කියලයි කියන්නේ. ඒ දෙන්න පුහුණුවීම් ඉවර කරල එනකම්, කවදාවත් ඒ දෙන්නට කරදර කළේ නැහැ කියලයි කියන්නේ. ඒ තරමට මම ඒ කාලයේ සිට ම මේ ක්‍රීඩාව බැඳී සිටල තියෙනවා. එක ම වෙන්න ඇති මගේ ක්‍රීඩාවේ ආරම්භය,” මල්මි පවසනවා.

මල්මිගේ පියා, දමින්ද හෙට්ටිආරච්චි 1991 දී මෙරට දී පැවති SAG ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. ඒ වගේම එම වසරේ ම ජපානයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලිය ද ඔහු නියෝජනය කළා.

ශ්‍රී ලංකා පොලිස් පැසිපන්දු කණ්ඩායමේ දශක 2කට අධික කාලයක් ක්‍රීඩා කළ දමින්ද එම කණ්ඩායම ජාතික පැස්පන්දු තරගාවලිය ජයග්‍රහණය කළ අවස්ථා 5ක දී කණ්ඩායම හා එක් ව තිබෙනවා. 1996 වසරේ දී පොලිස් පැසිපන්දු කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කිරීමට ද දමින්ද සමත් වෙනවා.

මේ වන විට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසින් කොළඹ දිසා පරිසර ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසින් සේවය කරන දමින්ද, ලෝක පොලිස් පැසිපන්දු තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව වැනි රටවල කළ තරග සංචාරවලට ද සහභාගී වී තිබෙනවා.

මල්මි තම ආදරණීයයන් සමඟ…

මල්මිගේ මව මනෝරි හෙට්ටිආරච්චි, ආසියානු තරගාවලි නියෝජනය කළ ශ්‍රි ලංකා පැසිපන්දු කාන්තා කණ්ඩායමේ සාමාජිකාවක්. මල්මිගේත්, ඇයගේ නැගණිය, විනුමි ෂෙහත්මා හෙට්ටිආරච්චිගේත් ක්‍රීඩා සහ අධ්‍යාපන කටයුතු හේතුවෙන් ඇගෙන් දැන් ක්‍රීඩාව ඈත් වෙලා. ෂෙහත්මාත් සිරිමාවෝ බාලිකාවේ දක්ෂ පැසිපන්දු සහ දැල්පන්දු ක්‍රීඩිකාවක්.

“මගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් අම්මගෙනුත්, තාත්තගෙනුත් ලැබෙන සහයෝගය නොවන්නට මට මේ තැනට එන එක ගැන හිතන්නවත් බැහැ. ඒ දෙන්නා ඒ තරමට ම මගේ ක්‍රීඩාව ගැන මටත් වඩා හොයා බලමින් උදව් කරනවා. ඊටත් වඩා හැම දෙයක් ම සැලසුම් කරනවා. ඒ වගේ ම නංගිගෙනුත් මට ලැබෙන සහයෝගය අමතක කරන්න බැහැ.”

මල්මිගේ පියා, දමින්ද හෙට්ටිආරච්චි මහතා පැසිපන්දු ක්‍රීඩකයෙක්ට අමතරව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සුදුසුකම්ලත් පැසිපන්දු පුහුණුකරුවෙක් ද වෙනවා. නමුත් පොලිස් සේවයේ කාර්ය බහුලත්වය හේතුවෙන් ඔහුට පුහුණුකරුවෙක් ලෙසින් සේවය කිරීමට අවශ්‍ය කාලය වෙන්කර ගැනීම අපහසු බවයි පවසන්නේ. එසේ නමුත් ඔහු 2015/16 කාලයේ දී ශ්‍රී ලංකා පැසිපන්දු තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙසින් කටයුතු කර තිබෙනවා.

මල්මි පළමුවෙන් ම ක්‍රීඩාවට පිවිසෙන්නේ මලල ක්‍රීඩිකාවක් ලෙසින්. එය ආරම්භයක් පමණයි. මලල ක්‍රීඩා පිටියේ දී සබකෝළය නැති කර ගන්නා ඇය ඊට පසුව තෝරා ගන්නේ පැසිපන්දු ක්‍රීඩාව. නමුත් ඊට සහභාගී වෙන්න තරම් ඇයට වයසක් තිබී නැහැ.

“මම මුලින් ම සෙල්ලම් කරන්නේ මට වඩා ගොඩාක් වැඩිමල් අක්කලා සමඟ. එයාලත් එක්ක මට පුහුණුවීම්වලට පමණයි සහභාගී වෙන්න ලැබෙන්නේ. වයස මදි නිසා තරගවලට දැම්මෙ නැහැ. මුලින් ම මම පාසල් පැසිපන්දු තරගයකට සහභාගී වුනේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට. ඒ වෙද්දි මට වයස අවුරුදු 10ක් විතර ඇති.”

පොත-පතට, ගෙදර-දොරේ සෙල්ලම්වලට ගත කළ යුතු කාලය මල්මි ගත කළේ පැසිපන්දු පිටියේ. ඒ කැපවීම හේතුවෙන් ම මල්මි 2016 වසරේ දී පාසල් පැසිපන්දු තරගාවලියේ දී වටිනාම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගන්නවා. එමෙන් ම 2018 වසරේ දී එම තරගාවලියේ දී ම දක්ෂතම ප්‍රහාරාත්මක ක්‍රීඩිකාව ලෙසින් අභිෂේක ලැබීමට ද ඇය සත් වෙනවා.

“මගේ එකම ආසාව වුනේ ක්‍රීඩා කිරීම. එදා වගේම අදටත් මගේ ආසාව කරන ක්‍රීඩාව හරියට කරන එක. මොකද තාත්තත්, අම්මත් නිතර ම කියන දෙයක් තමයි, අපි ඔයා ගැන බලා ගන්නම්, ඔයා ක්‍රීඩාව හරියට කරගෙන යන්න කියන එක. ඒ නිසා ම මම මගේ වැඩි කාලයක් යොමු කළේ ක්‍රීඩාවට. බාහිර දේවල් ගැන හිතන්නේ නැතිව මම අදටත් මගෙ කාලය සහ ශ්‍රමය යොමු කරන්නේ ක්‍රීඩාව වෙනුවෙන්.“

මල්මි ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම හා එක් වෙමින් කළ පළමු සංචාරය 2017 වසරේ දී ඉන්දියාවේ, බැංගලෝර් නුවර දී පැවති වයස අවුරුදු 16න් පහළ ආසියානු පැසිපන්දු ශූරතාවලියයි.

එම තරගාවලියේ දී B කාණ්ඩය නියෝජනය කළ මල්මි ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම 5 වැනි ස්ථානය දිනා ගන්නවා. එම තරගාවලියේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩිකාවන් වර්ග කරද්දී එහි තෙවැනි ස්ථානයට පත් වීමට මල්මි සමත් වෙනවා.

එමෙන්ම 2019 වසරේ දී මොංගෝලියාවේ දී පැවති වයස අවුරුදු 18න් පහළ 3×3 ලෝක කුසලාන පැසිපන්දු තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ද මල්මි සමත් වෙනවා. එම සංචාරවලට අමතරව නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ජාතික පැසිපන්දු කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවක් ලෙසින් එක් වීමට ද ඇය සමත් වෙනවා.

“මේ තරග නියෝජනය කරද්දී ම මම දැල්පන්දු ක්‍රීඩා පිටියේ ද දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවක් ලෙසින් අවධානයට ලක් වුනා. ඒ නිසා ම මට මෙරට සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියානු පාසල් කණ්ඩායමට එරෙහිව නම් කෙරුණු ශ්‍රී ලංකා පාසල් ජාතික දැල්පන්දු කණ්ඩායම ද නියෝජනය කිරීමට අවස්ථාවක් හිමි වෙනවා.”

පැසිපන්දු ක්‍රීඩාවේත්, දැල්පන්දු ක්‍රීඩාවේත් දක්ෂතා දැක් වූ මල්මි, එක ම වකවානුවක් දී එම කණ්ඩායම් ද්විත්වයේ ම ජාතික සංචිතයට සුදුසුකම් ලබා ගන්නවා. එතැන දී ඇයට එක් ක්‍රීඩාවක් පමණක් තෝරා ගැනීමට සිදු වෙනවා.

“දැල්පන්දු ආසියානු කුසලාන සංචිතයේ සිටිද්දී මම ශ්‍රී ලංකා පැසිපන්දු සංචිතයේ ද සිටියා. මෙතැන දී මට මේ දෙකෙන් එකක් තෝර ගන්න සිදු වුනා. මම දෙපාරක් නොසිතා ම පැසිපන්දු තෝරගත්තා,” මල්මි පැවැසුවා.

මල්මි පැසිපන්දුවට ඒ තරම් ම ඇඟෑළුම් කමක් පානවා. ඊට හේතූන් ලෙස මල්මි පවසන්නේ, සිය පියා සහ මවගෙන් ඊට ලැබෙන සහයෝගයත්, තමන් කුඩා කළ සිට දැක තිබූ සහ පළමුවෙන් එක් වූ ක්‍රීඩාවත් හේතුවෙන් පැසිපන්දු ක්‍රීඩාව තොරා ගත් බවයි.

“ගෙදරින් මට පූර්ණ නිදහස දීලයි තිබුණෙ කැමති ක්‍රීඩාවක් තෝර ගන්න කියලා. අම්මවත්, තාත්තවත් කවදාවත් මට මේ ක්‍රීඩාව කරන්න කියල බල කරල නැහැ.”

මල්මිගේ මේ ආසාව කුඩා කාලයේ සිටම තිබූ දෙයක් බවයි ඇයගේ පියා දමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

“දුව කුඩා කාලයේ සිටම හැදුණෙ-වැඩුණෙ පැසිපන්දු ක්‍රීඩාවත් එක්කම. ඒ නිසා අපෙත් බලාපොරොත්තුවක් තිබුණා එයා කවදාහරි දවසක පැසිපන්දු ක්‍රීඩාවේ ඉහළට ම ඒවි කියලා. මමත්, අම්මත් එයාට අපි දන්න දේ කියල දුන්නා. සමහර අවස්ථාවල අපි පොලිස් ක්‍රීඩාංගණයට ගිහිල්ලා පුහුණුවීම් පවා කරනවා. ක්‍රීඩාව වගේම අධ්‍යාපනයත් වැදගත් කියලයි අපි දූට කියල තියෙන්නේ. දුව, කවදාහරි දවසක පැසිපන්දු ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒවි කියන බලාපොරොත්තුව අප තුළ තිබුණා,” දමින්ද හෙට්ටිආරච්චි මහතා ThePapare.com සමඟ එක් වෙමින් පැවසුවා.

මල්මි තීරණාත්මක අවස්ථාවන්වල දී දැල්පන්දුව අතහැර පැසිපන්දුව වැළඳ ගත්තත්, කිසි දිනක ඒ ක්‍රීඩාවන් දෙකෙන් ඈත් ව සිටියේ නැහැ. ලැබුණ සෑම අවස්ථාවක දී ම මේ ක්‍රීඩාවක් 2 ම පුහුණුවීම් හා ඇය නිරත වුනා. ඒ හේතුවෙන්ම ඇයට මෙම ක්‍රීඩාවන් 2න් ම ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමට අවස්ථාව උදා වුනා.

මල්මි, 2023 දැල්පන්දු රැජිණ වෙමින්…

ඒ අනුවයි ඇයට දැල්පන්දු ක්‍රීඩාවෙන් ලෝක කුසලාන තරගාවලිය දක්වා ගමන් කිරීමට අවස්ථාව උදා වෙන්නේ. ඒ වගේ ම පැසිපන්දු ක්‍රීඩාවෙන් ද ලෝක කුසලාන තරගාවලිය දක්වා ගමන් කිරීමට ඇය බලාපොරොත්තු වෙනවා.

“මම දැන් මේ ක්‍රීඩාවන් දෙකට ම එක වගේ කැමතියි. පුළුවන් විදිහට මේ දෙකේ ම දක්ෂතා දක්වමින් ජාතික කණ්ඩායම්වල තවත් කාලයක් රැඳී සිටීමයි මගේ බලාපොරොත්තුව. මේ වෙනුවෙන් මගේ අම්මා, තාත්තා නිතරම මමත් සමඟ ම සිටිමින් මට විශාල ශක්තියක් ලබා දුන්නා. ඒ වගේම මගේ සියලුම පුහුණුකරුවන් ඇතුළු මමත් සමඟ ක්‍රීඩා කළ සහ අදටත් ක්‍රීඩා කරන සියලු ම දෙනාමත් මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.

මම ක්‍රීඩා කරන්නේ තනි ඉසව්වක් නෙවේ. කණ්ඩායම් ක්‍රීඩාවක්. ඉතිං එතැන දි අපි හැමෝ ම එක වගේ මහන්සි වෙනවා නම් තමයි එක එක්කෙනාගේ දක්ෂතාවලට යන්න පුළුවන්. මම අද මේ තැන සිටින්නේ ඔවුන්ගේ ද දක්ෂතා සමඟිනුයි. ඒ සෑම දෙනෙක්ටම මම ස්තූතිවන්ත වෙනවා,” මල්මි හෙට්ටිආරච්චි ThePapare.com සමඟ පැවසුවා.

දැල්පන්දු පිටියේත්, පැසිපන්දු පිටියේත් දක්ෂතා දක්වන මල්මි හෙට්ටිආරච්චිට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<