1975 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී Vivian Richardsගේ මාරාන්තික හස්තය නොවන්න ලොව පළමු ලෝක ශූරයින් බවට පත්වෙන්නේ ඕස්ට්‍රේලියාව කියලයි Times පුවත්පතේ John Woodcock විසින් ලියා තැබුවේ.
“ඕස්ට්‍රේලියාවේ ඛේදනීය පැකිළීම් තුන සහ Vivian Richardsගේ මාරාන්තික හස්තය නොතිබුණා නම් කුමක් විය හැකි ද කියලා එය පෙන්නුවා.”
ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ලෝක කුසලාන තරගාවලිය ලෙස පැවැත්වුණු 1975 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ දී කොදෙව් නායක Clive Lloydගේ විශිෂ්ට ශතකයත් සමඟ කොදෙව්වන් විසින් කඩුලු 8කට ලකුණු 291ක් ලබා ගන්න සමත් වුනා.
මේ ඉලක්කය හඹා යමින් සිටි ඕස්ට්‍රේලියාවේ මුල්පෙළ බිඳ දමන්න සමත් වුනේ Viv Richards විසින්. විශේෂත්වය තමයි ඔහු එදා ඕස්ට්‍රේලියානු ඉනිම බිඳ දැම්මේ පන්දු යැවීමෙන් නොවී පන්දු රැකීමෙන් වීම.
ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු 162ක් වන විට බිඳ වැටුණු කඩුලු 4න් තුනක් ම Vivගේ පන්දු රැකීම හමුවේ බිඳ වැටුණු ඒවා!මේ පන්දු රැකීමේ දක්ෂතාව නොවන්න එදා තරගය කොදෙව්වන්ට ලකුණු 17කින් ජයග්‍රහණය කරන්න ඉඩ නොලැබෙන්න තිබුණා.
ලෝක කුසලාන ඉතිහාසය පුරාවටම සෑම තරගාවලියක ම මේ වගේ විශේෂ අවස්ථා අනන්ත අප්‍රමාණ අපිට මුණ ගැහෙනවා. මේ ඒ අතුරින් ලෝක කුසලානයකට එකක් බැගින් තෝරා ගත්තු විශේෂ අවස්ථා කිහිපයක්.
1979
75 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී දුවද්දී දවා ගැනීම් තුනකට දායක වුන Viv, 1979 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී විශිෂ්ට ශතකයක් වාර්තා කරනවා. නමුත් ඔහුගේ ඒ ඉනිම Collis Kingගේ ලකුණු 86ක් හමුවේ වැහිලා ගියා කිව්වත් හරි.
මේ තරගයෙත් පළමුව පිතිකරණයේ යෙදුණ කොදෙව් ඉනිමේ කඩුලු 4ක් ලකුණු 99ක් වෙද්දී බිඳ වැටෙනවා. මේ වෙලාවේ Viv සමඟ පිටියේ එකතු වුන Collis ආරම්භයේ පටන් ආක්‍රමණශීලී වෙන්න උත්සාහ කරනවා. ඒ නිසාම Viv විසින් අවස්ථා කිහිපයක දී ම Collisව සන්සුන් කරන්නත් උත්සාහ කරනවා. නමුත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. අවසානයේ තමන් උත්සාහය අත් හැරලා දැම්මා කියලා Viv පසු කාලයක දී කියනවා.
“ඔහු සිටිය මනෝභාවය සමඟ ඔහුට එදා කිසිම පන්දු යවන්නෙක් ගැටලුවක් වේවි කියලා මම හිතන්නේ නැහැ. ඔහු දැවී යන මොහොත වන විට ඒ තරගය අපේ බව මම දැන ගෙන හිටියා.”
එවකට කොදෙව් නායක Lloyd පසු කාලයක එහෙම කියනවා.
එදා Viv සහ Collis දෙදෙනා ලකුණු 139ක සබඳතාවක් පිහිටුවනවා. මෙයින් ලකුණු 86ක්ම Collisගේ පිත්තෙනුයි වාර්තා වුනේ. ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 66ක් පමණයි!
1983
1983 ලෝක කුසලානයේ දී Kapil dev විසින් දියත් කළ අග්‍රගණ්‍ය ඉනිම ගැන මීට පෙර වතාවක අපි සටහන් තැබුවා. ඒ වගේම 1983 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී Gordon Greenidgeව දවා ගැනීම වෙනුවෙන් Balwinder Sandhu විසින් යොමු කළ පන්දුවත් එකල ක්‍රීඩා ලෝලීන්ට විශේෂ මතකයක්.
නමුත් එවකට ලෝක ක්‍රිකට් දැවැන්තයින් වුන බටහිර ඉන්දීය කොදෙව්වන්ට නියත ජයග්‍රහණය කරා යාමට තිබුණු අවස්ථාව නතර කළ ඉන්දීය වීරයා වුනේ Mohinder Amarnath. මේ තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ඉනිම ලකුණු 183කට සීමා වෙද්දී Amarnathගේ පිත්තෙන් වටිනා ලකුණු 26ක් වාර්තා වුනා. ඒ වගේම කොදෙව්වන් මේ පහසු ඉලක්කය හඹා යද්දී නොසිතූ විරූ පන්දු යැවීමක නිරත වෙන්නත් Amarnath සමත් වුනේ ලකුණු 12කට කඩුලු 4ක් බිඳ හෙළමින්.
1987
1987 ලෝක කුසලානයේ දී Viv Richards විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 182ක් වාර්තා කළ ඉනිම වගේම, මේ තරගාවලියේ දී Sunil Gavaskar විසින් නවසීලන්තයට එරෙහිව විශිෂ්ට හඹා යාමක් වෙනුවෙන් දියත් කළ වේගවත් ශතකයත් සදානුස්මරණීය අවස්ථා. මේ හැම ඉනිමක් වගේම තරගාවලියේ අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියාවට පළමු ලෝක ශූරතාවය හිමි කර දෙන්න හේතු වුන Mike Velettaගේ ඉනිම අමතක කරන්නත් බැහැ.
ඕස්ට්‍රේලියාව කියන්නේ ක්‍රිකට් පුරාවෘත්ත රාශියක් බිහි කරන්න දායක වුන රටක් වුනත්, Veletta කියන්නේ එහෙම පුරාවෘත්තයක් නෙවෙයි. ඔහුගේ එක්දින ක්‍රිකට් දිවිය තරග 20කට සීමා වුන එකක්.
මේ තරගයේ වීරයා වුනේ David Boon විසින්. නමුත් Boonගේ ඉනිම ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු 168ක් වෙද්දී නිමා වෙනවා. ඒ වෙද්දී ක්‍රියාත්මක වෙමින් තිබුණේ ඉනිමේ 39 වැනි පන්දු වාරය. මේ මොහොතේ පිටියට පිවිසෙන Veletta විසින් නායක Allan Border සමඟ ලකුණු 73ක සබඳතාවක් පිහිටුවනවා.
Veletta විසින් පන්දු 31කින් නොදැවී ලබාගත්තු ලකුණු 45 නිසා ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 253ක් දක්වා ඉදිරියට යනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාව එංගලන්තයට එරෙහිව ලකුණු 7ක තියුණු ජයග්‍රහණයකුත් ලබනවා.
“දෙවියන් මා දෙස බලා සිනාසුණා!”
Veletta විසින් එදා තරගයේ සිය ඉනිම ගැන විස්තර කරන්නේ ඒ විදිහට.
1992
1992 ලෝක කුසලානයේ ජයග්‍රහණය පාකිස්තානයට හිමි කර දෙන්න Wasim Akram විසින් සිදු කළ විශිෂ්ට පන්දු යැවීම, එංගලන්තය පරාජය කරමින් සිම්බාබ්වේ කණ්ඩායම දැක්වූ විශිෂ්ට දක්ෂතාව වගේම දකුණු අප්‍රිකානුවන්ගේ අවාසනාවත් 92 ලෝක කුසලානයේ විශේෂ මතක අතරේ රැඳිලා තියෙනවා.
නමුත් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී නොතිබූ ජයග්‍රහණයක් පාකිස්තානයට ලබා දෙන්න Inzamam-ul-Haq විසින් දියත් කළ ප්‍රවේගකාරී ඉනිමට මේ අතරින් විශේෂ වටිනාකමක් හිමි වෙනවා.
මේ තරගයේ දී නවසීලන්තය විසින් ලකුණු 263ක ඉලක්කයක් පාකිස්තානයට ලබා දෙනවා. මේ ඉලක්කය හඹා යමින් සිටි පාකිස්තාන ඉනිම පන්දුවාර 34 එක් පන්දුවක් තුළ කඩුලු 4ක් දැවී ගිහින් ලකුණු 140ක නතර වෙලා තිබුණු මොහොතේ තමයි Inzy පිටියට පිවිසෙන්නේ. ඒ වෙද්දී පාකිස්තානය විසින් තවත් පන්දු 95ක් තුළ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 123ක් ලබා ගත යුතු වෙනවා.Javed Miandad සමඟ එකතු වුන Inzy පන්දු 63කින් ලකුණු 87ක සබඳතාවක් පිහිටුවනවා. මෙයින් ලකුණු 60ක අයිතිය හිමි වුනේ Inzyට. ඔහු ඒ වෙනුවෙන් වැය කරන්නේ පන්දු 37ක් පමණයි. අවසානයේ පාකිස්තානය අදාළ ඉලක්කය තවත් පන්දුවාරයක් ඉතිරිව තිබිය දී ම හඹා යන්න සමත් වෙනවා.
“තරගයට පෙර දින රාත්‍රියේ Inzyට දැඩි උණක් හැදුණා. ඔහු මුළු රාත්‍රියේ ම වෙහෙසට පත් වුනා. ඒ නිසා ඔහු Imran khan ළඟට ගිහින් කිව්වා ‘මට උණ තියෙනවා, මම හිතන්නේ නැහැ මට ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි’ කියලා.
Imran කිව්වා ‘Inzy වෙන කිසිම දෙයක් ගැන හිතන්න එපා. ඔයා කොහොමද මේ තරගය ක්‍රීඩා කරන්නේ කියලා විතරක් හිතන්න’ කියලා.
Inzy විශිෂ්ට ඉනිමක් දියත් කළා, ඒ විශේෂ ඉනිම ඔහුට අවසානයේ විශිෂ්ට ක්‍රීඩකයෙකු බවට පත් වෙන්න අවශ්‍ය විශ්වාසය ලබා දුන්නා.”
අවසන් තරගයේ වීරයා වුන Wasim Akram විසින් Inzamam-ul-Haqගේ ඉනිම ගැන ඒ විදිහට විස්තර කරනවා.
1996
96 කියන්නේ ශ්‍රී ලංකාවේ ලෝක කුසලානය. ඇත්තටම ඒක අරවින්ද ද සිල්වාගේ තරගාවලිය. Inzy 92 දී නවසීලන්තයට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී දියත් කළා වගේම ඉනිමක් අරවින්ද 96 අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාවට එරෙහිව දියත් කරනවා.
එතනින් නොනැවතුණු අරවින්ද 96 ලෝක කුසලාන අවසන් මහා තරගයත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරවලා දෙනවා.
අරවින්ද ගැන සහ 96 දී අරවින්ද දැක්වූ දක්ෂතා ගැන මීට පෙර පළ වුන ලිපි කිහිපයක් ම මෙතනින් ඔබට කියවන්න පුළුවන්.
1999
1999 ලෝක කුසලානයේ දී Glenn Mcgrath විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව දියත් කළ අග්‍රගණ්‍ය පන්දු යැවීම (5/14) වගේම දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වුණු අවසන් පූර්ව තරගයේ දී Shane Warne විසින් Herschel Gibbsව දවා ගැනීම වෙනුවෙන් යොමු කළ පන්දුවත් සමඟ සිදු කළ විශිෂ්ට පන්දු යැවීමත්, Rahul Dravid සහ Sourav Ganguly යුගලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පිහිටුවපු ත්‍රිත්ව ශතක සබඳතාවත් 99යේ විශේෂ අවස්ථා විදිහට හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසි වුනත් තරගාවලියේ වීරයා බවට පත් වුන දකුණු අප්‍රිකාවේ Lance Klusenerවත් විශේෂයෙන්ම මතක් කළ යුතුයි. ඒ වගේම සිම්බාබ්වේ දේශය නියෝජනය කළ Neil Johnson විසින් මේ තරගාවලියේ දී දක්වපු දක්ෂතා ගැනත් කතා බහ කළ යුතුමයි.තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් වුන දකුණු අප්‍රිකාවට නොසිතූ විරූ පරාජයක් උරුම කරන්න සිම්බාබ්වේ කණ්ඩායම සමත් වෙන්නේ Jhonsonගේ තුන් ඉරියව් දක්ෂතා සමඟින්. තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස පැවැත්වුණු මෙම තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 233ක් ලබා ගන්නවා. මේ වෙනුවෙන් ආරම්භක පිතිකරු Jhonson විසින් එකතු කල ලකුණු සංඛ්‍යාව 76ක්.
ඒ වගේම සිම්බාබ්වේ වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ Jhonson විසින් පන්දු යැවීමෙනුත් සිය උපරිමයට පිවිසෙන්නේ ලකුණු 27කට කඩුලු 3ක් බිඳ හෙළමින්. ඔහු සමස්ත තරගාවලිය පුරාම මේ විදිහට තුන් ඉරියව්වෙන් ම දක්ෂතා පෙන්වුවා.
- ලෝක කුසලාන තරගාවලියේ සැමරුම්
- කුමාර් සංගක්කාර කළේ වංචාවක් ද?
- දකුණු අප්‍රිකානුවා අත්හළ කුසලානය ඕස්ට්‍රේලියානු දෝතට
- මුළුගැන්වූ ව්යාඝ්රයින් විලස සටන් කළ පාකිස්තානුවන්
- අර්ජුන කඩුල්ලට එද්දිම මම ඒ වෙනස කළා නම්?
2003
Ricky Ponting විසින් 2003 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව විශිෂ්ට ලකුණු 140ක් වාර්තා කරනවා, ඒ වගේම Sachin Tendulkar විසින් පාකිස්තානයට එරෙහිව සිදු කළ ලකුණු හඹා යාමක දී සිය එක්දින දිවියේ හොඳම ඉනිමක් දියත් කරමින් ලකුණු 98ක් වාර්තා කරන්න සමත් වෙනවා.
Andy Flower සහ Henry Olonga තමන්ගේ ක්‍රීඩා ජීවිතය ම අවදානමකට දමා ගනිමින් කළු පටි පැළඳගෙන ක්‍රීඩා පිටියට පිවිසුනෙත් 2003 ලෝක කුසලානයේ දී. ශ්‍රී ලංකාව කෙන්යාව හමුවේ පරාජය වීම වගේම, කෙන්යාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසීම සිදු වෙන්නෙත් 2003 ලෝක කුසලානයේ දී.
විශේෂ සිදුවීම් ගණනාවක් සිදු වුන 2003 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු අවසන් පූර්ව තරගයේ දී විනිසුරු විසින් ලබා නොදුන් තීරණයකට අභියෝග කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Adam Gilchrist ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙලා යනවා.
මේ තරගයේ දී ඕස්ට්‍රේලියාව විසින් තමන්ගේ පළමු පන්දුවාර පහ තුළ ලකුණු 34ක් රැස් කළ මොහොතක නායක සනත් ජයසූරිය විසින් අරවින්ද ද සිල්වා පන්දු යැවීමට කැඳවනවා. අරවින්දගේ පන්දුවකට ස්වීප් පහරක් එල්ල කරන්න Gilchrist විසින් දරපු උත්සාහය ව්‍යර්ථ වීම නිසා පන්දුව උඩපන්දුවක් විදිහට කඩුලු රකින කුමාර් සංගක්කාර අතට පන්දුව ඇදී යනවා.
නමුත් තරගයේ විනිසුරු Rudi Koertzen මෙය දැවී යාමක් වග පිළිගන්නේ නැහැ!
නමුත් තමන්ගේ දැවී යාම බාර ගන්න Gilchrist විසින් තීරණය කරනවා.
“මේක Gilchristගේ තරගය. ඔහු පිත්තෙන් හෝ කඩුලු රැකීමෙන් කළ දෙයක් නිසා නෙවෙයි, ඔහු පිටියෙන් ඉවත් වීමට ගත් තීරණය නිසායි.”
Wisden සඟරාව විසින් මේ සිදුවීම විස්තර කරන්නේ ඒ විදිහට.
2007
එදා 2003 දී දැවී යාම බාර ගත් Gilchrist 2007 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවට එළව එළවා පහර දුන්නේ ස්කොශ් පන්දුවක් තමන්ගේ අත් ආවරණ අස්සේ දාගෙන ඇවිත් බව අනාවරණය වුනේ පසු කාලීන ව.
ඒ වගේම මේ තරගාවලියේ දී Herschel Gibbs විසින් එල්ල කළ හයේ පහර හය වගේම, Glenn Mcgrath විසින් අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව සිදු කළ විශිෂ්ට පන්දු යැවීමත් 2007 ලෝක කුසලානයේ විශේෂ අවස්ථා අතරින් කිහිපයක්.
නමුත් ලසිත් මාලිංග විසින් කැරිබියන් දූපත් සමූහයට නවමු කොණ්ඩ විලාසිතාවකුත් හඳුන්වා දෙමින් තරගාවලියට ඇවිත් දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු හතරකින් කඩුලු හතරක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත් වීම ඉහත සියල්ලම පරාජය කරන්න තරම් ශක්තිමත් දක්ෂතාවක්.ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකාවෙන් තරගයේ ජයග්‍රහණය උදුරා ගන්න ඔන්න මෙන්න අවස්ථාවක් වන තෙක් ම තරගය වෙනස් කරන්න මාලිංග එදා සමත් වුනා.
2011
MS Dhoni විසින් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ඉන්දියාවට දෙවැනි ලෝක කුසලානය උරුම කර දීම, පරාජිත අවසන් මහා තරගයක මහේල ජයවර්ධනගේ විශිෂ්ට ශතකය, අයර්ලන්තය විසින් විශිෂ්ට හඹා යාමක් සිදු කරමින් එංගලන්තය පරාජය කිරීම වගේ සිදුවීම් රැසක් ඉතිරි කරමිනුයි 2011 ලෝක කුසලානය නිමා වුනේ.
නමුත් මේ තරගාවලියේ පැවැත්වුණු තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය විසින් නොසිතූ විරූ ලෙස දකුණු අප්‍රිකාව පරාජය කිරීමට සමත් වීමත් විශේෂ මතකයක්.
මේ තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්තය විසින් ලබා ගන්නේ ලකුණේ 221ක් පමණයි. ඒ වෙනුවෙන් පිළිතුරු ඉනිම දියත් කළ දකුණු අප්‍රිකාව තමන්ගේ මුල් පන්දුවාර 24 තුළ කඩුලු තුනක් පමණක් දැවෙමින් ලකුණු 108ක් ලබා ගන්න සමත් වෙනවා.
නමුත් එතැනින් පසුව දකුණු අප්‍රිකානු ඉනිම බලාපොරොත්තු නොවුනු විදිහට විනාශ කරන්න Jacob Oram ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුනා. එහි අවසන් ප්‍රතිඵලය වෙන්නේ ලකුණු 49ක ජයග්‍රහණයක් සමඟින් නවසීලන්තය තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසීම. නමුත් මේ තරගයේ දී ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුනා.
ඒ වගේම මේ තරගාවලියේ මූලික වටයේ තරගයක දී නවසීලන්තය විසින් පාකිස්තානයට එරෙහිව තමන්ගේ ඉනිමේ අවසන් පන්දුවාර 4ට ලකුණු 92ක් රැස් කරන්න සමත් වීමත් විශේෂ මතකයක්. මේ තරගය පැවැත්වුණේ නුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී.
2015
2015 ලෝක කුසලානයේ දී කුමාර් සංගක්කාර විසින් පිට පිට ශතක හතරක් රැස් කිරීම, බංග්ලාදේශය විසින් එංගලන්තය තරගාවලියෙන් ඉවතට ඇද දැමීම, Wahab Riaz විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව දියත් කළ විශිෂ්ට පන්දු යැවීම වගේ සිදුවීම් රැසක් අතරින් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී නවසීලන්ත පිතිකරු Grant Elliott විසින් දකුණු අප්‍රිකාව තරගාවලියෙන් ඉවතට ඇද දැමීම විශේෂ ස්ථානයක් ලබා ගන්නවා.
“මම පන්දුව Blockhole එකට යවනවා කියලා පොරොන්දු වෙන්න මට බැහැ. මට පොරොන්දු වෙන්න පුළුවන් දේ තමයි Back of a Length පන්දුවක්.”
එදා තරගයේ අවසන් පන්දුවාරය යොමු කළ Dale Steyn විසින් තමන්ගේ නායකයා AB de Villiersට එහෙම පැවසුවා කියලා තරගයෙන් පසුව දැන ගන්න ලැබෙනවා.වර්ෂාව නිසා තරගයට බාධා එල්ල වුනා වගේම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ටත් පන්දුව හරි හැටි පාලනය කර ගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි Steyn එදා තමන්ගේ නායකයාට එහෙම දෙයක් කිව්වේ. නමුත් එදා පන්දු 73කින් Elliott විසින් වාර්තා කළ විශිෂ්ට ලකුණු 84 වටිනාකමට නම් මේ හේතුවලින් කිසිම බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. ඔහු තනිවම දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් ඉවතට ඇද දමනවා.
2019
2019 ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන විතරක් වුනත් පොතක් පිරෙන්න කතා ලියන්න පුළුවන්. නමුත් මේ තරගාවලියේ අතිශය කණගාටුදායක තත්වයකට මුහුණ දුන් පිතිකරුවෙක් විදිහට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Carlos Brathwaiteව හඳුන්වලා දෙන්න පුළුවන්.
2016 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී කොදෙව්වන් ලෝක ශූරයින් කිරීමෙන් අනතුරුව නැවතත් කොදෙව්වන් වෙනුවෙන් නොතිබූ ජයග්‍රහණයක් පෙනෙන මානයට ගේන්න Brathwaite විසින් 2019 දී සමත් වුනා.
නවසීලන්තය සමඟ පැවැත්වුණු මේ තරගයේ දී ලකුණු 292ක ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව් ඉනිමේ කඩුලු 7ක් ලකුණු 164ක දී බිඳ වැටෙනවා. නමුත් පිටියේ නතර වුන Brathwaite තම පසුපෙළ සාමාජිකයින් සමඟ ඉනිම කෙමෙන් ඇද ගෙන යනවා. කොදෙව්වන්ට එක් මොහොතක පන්දුවාර 5කින් ජයග්‍රහණය සඳහා ලකුණු 47ක් අවශ්‍ය වෙනවා.
නමුත් ඒ වෙද්දී ඔවුන්ගේ කඩුලු 9ක් බිඳ වැටිලා අවසානයි. ඒ වෙද්දී පන්දු 62කින් ලකුණු 60ක් පමණක් ලබා සිටි Brathwaite ඉන් පසුව හයේ පහර හතරක් සහ හතරේ පහර දෙකක් සමඟින් ඉලක්කය ආසන්නයට ම කණ්ඩායම රැගෙන එනවා.
තරගයේ 49 වැනි පන්දුවාරයේ දී ලකුණු 99ක් ලබා සිටි Brathwaite ලකුණු දෙකකින් තමන්ගේ ශතකය සම්පූර්ණ කර ගන්න සමත් වෙනවා. ඒ පන්දුවාරයේ ම අවසන් පන්දුවට ඔහු විසින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුන ලකුණු 6, හයේ පහරකින් ලබා ගන්න උත්සාහ කළත් පන්දුව නතර වෙන්නේ Trent Boultගේ අතේ!
2015 දී දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු සුන් වීමෙන් පසුව හඬා වැටුණු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් සනසන්න ආවා වගේම, 2019 දී Brathwaiteව සනසන්නත් නවසීලන්ත ක්‍රීඩකයින් එනවා. ඒත් Brathwaiteට සැනසෙන්න අවශ්‍ය එකම දේ ඒ තරගයේ ජයග්‍රහණය බවත් ඔවුන් දැන ඉන්න ඇති!
ESPN Cricinfo ඇසුරිනි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<