ප්‍රබලයින් නිවසේ තබා බංග්ලාදේශය ලෝක කුසලානයට

එක්දින ලෝක කුසලානය 2023

2867

ලබන මාසයේ ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතය නිල වශයෙන් නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමේ නායකත්වය Shakib Al Hasanට හිමිව තිබෙන අතර උපනායක තනතුර සඳහා මෑත කාලයේ ඉහළ දස්කම් අතර සිටින පිතිකරුවෙකු වන Najmul Hossain Shanto නම් කර තිබෙනවා.

පසුගිය කාලසීමාවේ වැඩි අවධානයක් දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක සහ අත්දැකීම් බහුල පිතිකරුවෙකු වන Tamim Iqbal මෙම සංචිතයට ඇතුළත් නොවීම විශේෂත්වයක්.

ඔහු බංග්ලාදේශ ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට පසුගිය දා තීරණය කළ අතර ඒ සමඟම ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ද නිවේදනය කළා.

නමුත් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඇතුළු ක්‍රිකට් බලධාරීන්ගේ ඉල්ලීම නිසා ඔහු විශ්‍රාම ගැනීමේ තීරණය ඉවත් කර ගත් නමුත් ආබාධයෙන් සම්පූර්ණ සුවය නොලැබීම නිසා ආසියානු කුසලානය ක්‍රීඩා කිරීමට ඔහුට හැකි වුනේ නැහැ.

සම්පූර්ණ ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවයක් ඔහුට නොමැති වීම නිසා ලෝක කුසලානය සංචිතයෙන් ඔහුව ඉවත් කිරීමට හේතු වී තිබෙන අතර ඔහුට අමතරව ආබාධයක් නිසා Ebadot Hossain හට ද ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙනවා.

ආසියානු කුසලානයේ දී සිය ස්ථානය අහිමි වූ තුන් ඉරියව් ක්‍රීඩක Mahmudullah Riyad ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙන අතර කණ්ඩායමේ පිතිකරණය ශක්තිමත් කරමින්  Mushfiqur Rahim සහ Litton කණ්ඩායමට ඇතුළත්ව තිබෙනවා.

Shakibට අමතරව කණ්ඩායමේ දඟපන්දු යවන්නන් ලෙස Mehidy Hasan Miraz, Nasum Ahmed සහ Mahedi Hasan කටයුතු කරන අතර වේගපන්දු යවන්නන් ලෙස Taskin Ahmed, Mustafizur Rahma, Shoriful Islam, Hasan Mahmud සහ Tanzim Hasan කටයුතු කරනවා.

බංග්ලාදේශ කණ්ඩායම ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමඟ පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිත අතර ඔවුන් තරගාවලියේ පළමු තරගය ලෙස ඔක්තෝබර් 07 වැනිදා ඇෆ්ගනිස්ථානය සමඟ තරග වැදීමට නියමිතයි.

ලෝක කුසලානය සඳහා නම් කළ බංග්ලාදේශ කණ්ඩායම,

Shakib Al Hasan (නායක), Litton Das, Tanzid Hasan Tamim, Najmul Hossain Shanto (උප නායක), Tawhid Hridoy, Mushfiqur Rahim, Mahmudullah Riyad, Mehidy Hasan Miraz, Nasum Ahmed, Shak Mahedi Hasan, Taskin Ahmed, Mustafizur Rahman, Hasan Mahmud, Shoriful Islam, Tanzim Hasan Sakib.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<