අතිරේක දවසෙත් වැස්සොත් ඉන්දියාවට මොකද වෙන්නේ?

Asia Cup 2023

5116

ඉන්දු – පකිස්තාන දෙවැනි හමුවීමේ දෙවැනි දිනයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීමේ වැඩි ඉඩක් පවතින බව මේ වන විට වාර්තා වනවා.

2023 ආසියානු කුසලානයේ මූලික වටයේ දී ඉන්දියාව සහ පාකිස්තානය පළමු වරට මුණ ගැසුණු තරගයේ දී ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ එක් ඉනිමක් පමණයි. ඔවුන්ගේ දෙවැනි මුණ ගැසීම තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ තරගයක් ලෙස ඊයේ (10) කොළඹ දී ආරම්භ වූ අතර එයට ද වර්ෂාවෙන් බාධා එල්ල වුනා.

කෙසේ වෙතත් මෙම තරගයට අතිරේක දිනයක් ලෙස අද (11) දිනය ද නම් කර තිබීම හේතුවෙන් ඊයේ තරගය නතර වුන තැන සිට (ඉන්දියාව – 147/2) අද තරගය ආරම්භ වීමට නියමිතයි.

නමුත් අද දිනයේ ද තරගය පැවැත්වීමට වීමට නියමිත සවස් වරුවේ කොළඹට වර්ෂාව ඇති වීමට 70% ඉක්මවූ සම්භාවිතාවක් ඇති බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

(Hindustan Times විසින් කාලගුණ වාර්තා දෙකක් උපුටා දක්වමින් සඳහන් කරන්නේ සවස 5 වන විට වර්ෂාව ඇති වීමට 80%ක අවස්ථාවක් සහ සවස 3 වන විට වර්ෂාව ඇති වීමට ඇති ඉඩ 70%ට වඩා අවම නොවනු ඇති බවයි.)

මෙම කාලගුණ අනාවැකි 100%ක් ම තහවුරු කර ගත නොහැකි වුනත් අද දිනය වර්ෂාවට සේදී යාම හෝ අඩුම තරමේ යම් තරමක හෝ වර්ෂාවෙන් බාධාවක් එල්ල විය හැකි බව අනුමාන කළ හැකි. කෙසේ වෙතත් එවැනි තත්වයක් උද්ගත වුවහොත් එහි වැඩි වාසි පාකිස්තානය සතු වනවා.

සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ දී ඔවුන් දැනට ක්‍රීඩා කළ එකම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ පාකිස්තානය ප්‍රසාද ලකුණු දෙකක් සමඟින් ලකුණු සටහනේ පෙරමුණේ (NRR – 1.051) පසු වන අතර ශ්‍රී ලංකාව ද ප්‍රසාද ලකුණු 2ක් සමඟින් එහි දෙවැනි ස්ථානයේ (NRR – 0.420) රැඳී සිටිනවා.

අද තරගය වර්ෂාවට සේදී ගියහොත් ඉන්දියාවට සහ පාකිස්තානයට එක් ලකුණ බැගින් හිමි වීමට නියමිතයි. නමුත් එම ලකුණ සමඟ ඉන්දියාවට හිමි වන්නේ ලකුණු සටහනේ තෙවැනි ස්ථානය පමණයි.

මේ අනුව ඉන්දියාවට තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට නම් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය – ශ්‍රී ලංකා සහ ඉන්දීය – බංග්ලාදේශ තරග දෙකෙන් අඩුම

තරමේ එකක් හෝ ජයග්‍රහණය කිරීම අනිවාර්යය වී තිබෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස ඉන්දියාව සහභාගී වීමට නියමිත මීළඟ තරග දෙකට ම වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ඉන්දියාව තරමක අවදානම් තත්වයකට පත් වනු ඇති.

මෙතෙක් තරගාවලියේ දී තවමත් ඉන්දීය කණ්ඩායම සම්පූර්ණ තරගයක් ක්‍රීඩා කිරීමට සමත් වී නැහැ. අද දිනයේ දී එය වෙනස් වේවි ද නැතහොත් මෙම සතිය තුළ හෝ එහි යම් වෙනසක් වේවි ද යන කාරණය මත 2023 ආසියානු කුසලානයේ ඉන්දීය ගමන් මග තීරණය වනු ඇති.

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

NDTV Sports සහ Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<