ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Asia Cup 2023

9183
Asia Cup 2023

හෙටින් (30) ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා තේරීම් කමිටුව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අවසන් වරට මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා හට මෙම සංචිතයේ ඉඩක් වෙන් වී ඇති නමුත් ඇන්ජලෝ මැතිව්ස්ට නම් සංචිතයේ දොරගුළු විවර වී නැහැ.

මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලද මැතිව්ස් එහි දී පිතිකරණයෙන් සාර්ථක නොවීම ඔහු මෙම සංචිතයට එක් නොවීමට ප්‍රධානතම හේතුව බව අනුමාන කළ හැකියි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය මුළුල්ලේ විටින් විට වාර්තා වූ ක්‍රීඩක ආබාධ වීම් නිසා සංචිතයේ සැලකිය යුතු මට්ටමේ වෙනසක් සිදු වී තිබෙනවා.

නිමා වූ LPL තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වීම නිසා වනිඳු හසරංග හට මෙවර ආසියානු කුසලානය අහිමි වන අතර, පසුගිය වසරකට ආසන්න කාලයක් තිස්සේ ආබාධ නිසා ජාතික කණ්ඩායම සමඟ දිගින් දිගටම රැඳී සිටීමට වරම් නොලද දුශ්මන්ත චමීර ද LPL තරගාවලිය අතරතුර දී නැවතත් ආබාධයකට ලක් වීම නිසා ඔහුට ද මෙවර ආසියානු කුසලානය මග හැරෙනවා.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වේගපන්දු බලාපොරොත්තු දෙකක් වන ලහිරු කුමාර සහ ඩිල්ශාන් මදුශංක යුගලය ද ආබාධ නිසාවෙන් සංචිතයට ඇතුළත් කර නැහැ.

කෙසේ වෙතත් මෙම පුරප්පාඩු පිරවීම වෙනුවෙන් දුශාන් හේමන්ත, කසුන් රාජිත, ප්‍රමෝද් මදුශාන් සහ බිනුර ප්‍රනාන්දු එළඹෙන ආසියානු කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර පසුගිය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලද දුනිත් වෙල්ලාලගේ නැවතත් සංචිතයට කැඳවා ඇති අතර ඔහුගේ පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු බළඇණිය ශක්තිමත් කරනු ඇති බව විශ්වාස කළ හැකියි.

මේ අතර ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වී සිටි චාමික කරුණාරත්න සහ සහන් ආරච්ච්ගේ යන ක්‍රීඩකයින් මෙම සංචිතයෙන් ඉවතට විසි වී තිබීමත් විශේෂත්වයක්.

ආසියානු කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසේයි;

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, දුශාන් හේමන්ත, මහීෂ් තීක්ශණ, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, ප්‍රමෝද් මදුශාන්

ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ සම සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වෙන මෙවර ආසියානු කුසලානයේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමඟින් තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බ්‍රහස්පතින්දා (31) බංග්ලාදේශය සමඟින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<