ආසියානු කුසලානයට එන ඇෆ්ගනිස්තාන සංචිතය නම් කරයි!

929

එළඹෙන ආසියානු කුසලානයට සහභාගී වීමට නියමිත ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන සංචිතය අද (27) ප්‍රකාශයට පත් කළා.

එළඹෙන අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සඳහා නම් කළ ඇෆ්ගනිස්තාන සංචිතයේ නායකත්වය Hashmatullah Shahidi හට හිමි වී ඇති අතර, පසුගිය දා නිමා වූ පාකිස්තාන – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කළ වේගපන්දු යවන්නන් වන Mohammad Saleem Safi සහ Abdul Rahman යන දෙදෙනා මෙම ක්‍රීඩකයින් 17 දෙනා තුළ සිය ස්ථාන තහවුරු කර ගැනීමට සමත් වී තිබෙනවා.

නමුත් Fareed Ahmad සහ Wafadar Momand යුගලය සංචිතයෙන් ඉවතට විසි වී තිබෙනවා. මේ අතර Gulbadin Naib සහ Karim Janat යුගලය තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මේ අතරින් ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස හඳුන්වා දිය හැකි Karim Janat හට 2017 වසරෙන් පසුව නැවත ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්දින තරගයක් නියෝජනය කිරීමේ අවස්ථාවක් හිමි වී තිබීම විශේෂත්වයක්. (ඔහු ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ එක් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට පමණයි.)

මේ අතර පාදයේ ආබාධයක් නිසා නිමා වූ පාකිස්තාන තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලද Najibullah Zadran හට නැවතත් සංචිතය සමඟ එක් වීමට අවස්ථාව හිමි වී ඇති අතර, ඔහු තරගාවලිය ආරම්භ වන විට සිය ආබාධයෙන් සම්පූර්ණ සුවය ලබනු ඇති බව අනුමාන කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

· 2023 ආසියානු කුසලාන වෙනුවෙන් නම් කළ ඇෆ්ගනිස්තාන සංචිතය; Hashmatullah Shahidi (නායක), Rahmanullah Gurbaz, Ikram Alikhil, Ibrahim Zadran, Riaz Hassan, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Karim Janat, Gulbadin Naib, Rashid Khan, Abdul Rahman, Sharafuddin Ashraf, Mujeeb Ur Rehman, Noor Ahmad, Mohammad Saleem Safi, Fazal Haq Farooqi

මෙවර ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්තානය ක්‍රීඩා කිරීමට නියමිත පළමු තරගය සැප්තැම්බර් මස 03 වැනිදා බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතයි. එමෙන්ම

ඔවුන්ගේ මූලික වටයේ දෙවන තරගය ලෙස සැප්තැම්බර් 05 වැනිදා ශ්‍රී ලංකාව සමඟ තරග වැදීමට නියමිතයි. මෙම තරග ද්විත්වය ම පාකිස්තානයේ ලාහොර් හිදි පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<