ශ්‍රී ලංකාවේ සිහින බොඳ වෙයි; ඇමරිකාව රජ වෙයි!

World Athletic Championship 2023

8877

හංගේරියාවේ බුඩාපේස්ට් හිදි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ 8 වැනි දිනය අද (27) අලුයම ඉතා සාර්ථක අයුරින් නිමා වුනත්, එය ශ්‍රී ලාංකිකයින්ට නම් එතරම් සුබදායී අත්දැකීමක් වුනේ නැහැ.

මෙවර ශුරතාවලියේ අවසන් ශ්‍රී ලංකා බලාපොරොත්තුව ලෙස ඊයේ රාත්‍රියේ ධාවන පිටියට පිවිසුණු පිරිමි මීටර් 400×4 කණ්ඩායමට සිය ඉසව්වෙන් හිමි වුනේ 17 වැනි ස්ථානයයි.

ශූරතාවලියේ අවසන් අදියරේ ඉසව්වල ආරම්භය සටහන් කරමින් 400×4 ඉසව් ඊයේ දිනයෙන් ආරම්භ වූ අතර එහි දී පිරිමි ඉසව්වේ දෙවැනි තරග වටයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි දී හිමි වුනේ 8 වැනි ස්ථානයි.

අරුණ දර්ශන, රජිත රාජකරුණා, පබසර නිකූ සහ කාලිංග කුමාරගේ යන ක්‍රීඩකයින් සිව් දෙනා විසින් මෙම ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර එහි දී ඔවුන් විසින් වාර්තා කිරීමට සමත් වූ කාලය සටහන් වුනේ 3.03.25ක් ලෙසයි.

නිමා වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මෙම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව විසින් නව ජාතික වාර්තාවක් ද පිහිටුවීමට (03.01.56) සමත් වූ නමුත්, ඔවුන්ට මෙවර එය ආසන්නයට හෝ පැමිණීමට හැකි වුනේ නැහැ. එමෙන්ම තරග වට දෙකක් අවසානයේ මෙම ඉසව්වට සහභාගී වූ රටවල් 17 අතරින් ශ්‍රී ලංකාවට උරුම වුනේ අවසන් ස්ථානයයි.

නමුත් නිමා වූ ආසියානු ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට දෙවැනි වෙමින් රිදී පදක්කමින් සෑහීමකට පත්වීමට සිදු වූ ඉන්දීය කණ්ඩායම ඊයේ මෙම ඉසව්වේ පළමු තරග වටයේ දී නව ආසියානු වාර්තාවක් බිහි කරමින් (2.58.47) ඇමරිකාවට පමණක් දෙවැනි වෙමින් ඉසව්ව නිමා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ඒ අයුරින් මෙවර ශූරතාවලියේ ශ්‍රී ලංකාව තබා සිටි අවසන් බලාපොරොත්තුවත් සේදී ගියා.

ඒ නමුත් ලෝක මලල ක්‍රීඩාවට ඇලුම් කරන්නකුට නම් ඊයේ රාත්‍රියේ ඉතා හොඳ තරග අත්දැකීම් කිහිපයක් ම ලබා දුන්නා.

මෙහි දී පිරිමි රිටි පැනීමේ ඉසව්වේ වත්මන් ලෝක ශූරයා මෙන්ම ලෝක වාර්තාවට ද හිමිකම් කියන ස්විඩනයේ Armand Duplantis විසින් සිය ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනේ මීටර් 6.10ක උසක් තරණය කරමිනුයි.

කෙසේ වෙතත් ඉන්පසු ඔහු විසින් මීටර් 6.23ක උසක් සමඟින් නව ලෝක වාර්තාවක් කරා යෑමට දැරූ උත්සාහය අවාසනාවන්ත ලෙස ව්‍යර්ථ වුනා. මේ අතර මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය පිලිපීනයට හිමි වීම විශේෂත්වයක්.

මේ අතර ඇමරිකාවේ Chase Ealey විසින් මීටර් 20.43ක දුරක් යගුළිය විසි කරමින් කාන්තා යගුළිය විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා. එමෙන්ම මීටර් 800 පිරිමි ඉසව්ව කැනඩාවේ Marco Arop සහ පිරිමි දසප්‍රයාම ඉසව්ව කැනඩාවේ ම Pierce Lepage විසින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ඊයේ දිනයේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් හිමි වූ තවත් ඉසව්වක් ලෙස හඳුන්වා දිය හැකි කාන්තා මීටර් 5000 ඉසව්ව බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි ම කෙන්යාවේ Faith Kipyegon විසින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මෙම ඉසව්වේ ලෝක වාර්තාවට පවා හිමිකම් කියන Kipyegon හට ඊයේ එම වාර්තාව අබිබව යා නොහැකි වුවත් ඇය ඉතා විශිෂ්ට ධාවනයක නිරත වීමට සමත් වූ බව කිව යුතුමයි.

දිනයේ අවසන් වශයෙන් පැවැත්වුණේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමි වන ඉසව් දෙකක් වන පිරිමි සහ කාන්තා මීටර් 100×4 ඉසව් දෙකයි. මෙම ඉසව් ද්විත්වය ම ජයග්‍රහණය කිරීමට ඇමරිකාව විසින් සමත් වූ අතර එහි දී ඇමරිකානු කාන්තා කණ්ඩායම විසින් නව ශූරතාවලි වාර්තාවක් සමඟ (41.03) මෙම ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

එමෙන්ම මෙම ජයග්‍රහණයන් සමඟින් ඇමරිකාවේ Sha’Carri Richardson විසින් මෙවර තරගාවලියේ දී රන් පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී ඇති අතර, Noah Lyles විසින් රන් පදක්කම් තුනක් ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්.

ශූරතාවලියේ 09 වැනි සහ අවසන් දිනය වන අද (27) රාත්‍රියේ කාන්තා උස පැනීම, පිරිමි හෙල්ල විසි කිරීම, පිරිමි මීටර් 5000, කාන්තා මීටර් 800, පිරිමි සහ කාන්තා මීටර් 400×4 යන ඉසව් සියල්ලේ ම අවසන් තරග පැවැත්වීමට නියමිතයි.

2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<