2023 ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමා වූව ද තවමත් එහි උණුසුම මැකී ගොස් නැහැ.
තරග ඉතිහාසයේ පළමු වරට අවසන් මහා තරගයක් සඳහා සහභාගී වූ B-Love Kandy සහ Dambulla Aura කණ්ඩායම් අවසන් මහා තරගයක උණුසුම සැබෑ ලෙසින් ම ප්‍රේක්ෂකයන් වෙත ලබා දීමට සමත් වීම කැපී පෙනුණා.
ජයග්‍රහණය දෙපිලට ම දෝලනය වෙමින් පැවති තරගය නුවරට ජයග්‍රහණය ලබා දෙමින් නිමා වූ අතර තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ B-Love Kandy කණ්ඩායමේ එදින නායකයා වූ ඇන්ජලෝ මැතිව්ස්. තරගාවලියේ වීරයා ලෙසින් B-Love Kandy කණ්ඩායමේ නිත්‍ය නායක වනිඳු හසරංග සම්මානයට පාත්‍ර වුනා.
වනිඳු හසරංග
තරගාවලියේ වීරයා ලෙසින් සම්මානයට පත් වනිඳු හසරංග තරගාවලිය නිමා කරන්නේ වැඩිම ලකුණු ලැබූ පිතිකරු ලැයිස්තුවේ මෙන් ම වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ද පළමුවැනියා වෙමින්.
ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ එවන් දක්ෂතාවක් කළ පළමුවැන්නා වන්නේ ද ඔහුයි. එමෙන් ම ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ අවස්ථා දෙකක දී තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වූ එක ම ක්‍රීඩකයා බවට පත් වීමට ද වනිඳු සමත් වුනා. ඔහු මීට පෙර 2020 මංගල ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Jaffna Stallions කණ්ඩායම නියෝජනය කරමින් එකී සම්මානය දිනා ගත්තා.
තරගාවලිය ආරම්භයේ දී ම එතෙක් LPL තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා වූ වනිඳු තව දුරටත් එම අසුන තමන් වෙනුවෙන් වෙන් කර ගැනීමට මෙවර තරගාවලියේ දී ද සමත් වෙනවා. ඔහු මෙවර ලබා ගත් කඩුලු 19 සමඟ මේ දක්වා නිමා වූ LPL තරග ඉතිහාසය තුළ කඩුලු 55ක් දවා ගන්නවා.
එමෙන් ම ඔහු මෙවර තරගාවලියේ දී Jaffna Kings කණ්ඩායමට එරෙහිව ලකුණු 09කට කඩුලු 6ක් දවා ගනිමින් තරගයක හොඳම පන්දු යැවීමේ වාර්තාව ද තමන් නමට ලියා ගත්තා.
ඒ දක්වා එම වාර්තාව රැදී තිබුණේ එවකට Colombo Stars නියෝජනය කළ ජෙෆ්රි වැන්ඩර්සේ සතුවයි. ඔහු 2021 වසරේ පැවති තරගාවලියේ දී Kandy Warriors කණ්ඩායමට එරෙහිව ලකුණු 25කට කඩුලු 6ක් දවා ගනිමින් එකී වාර්තාවට හිමිකම් කීවා.
ලංකා ප්‍රිමියර් ලීග් තරග මාලාවේ සිව්වැනි අදියර නිමාවේ දී වනිඳු හසරංග, තරගාවලියේ වීරයා, තරගාවලියේ දක්ෂතම පිතිකරු සහ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා යන සම්මාන ත්‍රිත්වයෙන් ම පිදුම් ලැබීමට සමත් වුනා. එය LPL තරග ඉතිහාසයේ එක් ක්‍රීඩකයෙක් විසින් එවැනි දක්ෂතාවක් කළ පළමු අවස්ථාව ලෙසින් ද සටහන් වෙනවා.
අවිශ්ක ප්‍රනාන්දු
LPL තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්තාව සතු කර ගෙන සිටිමින් මෙවර තරගාවලියට එක් වූ අවිශ්ක ප්‍රනාන්දු එම වාර්තාව තව දුරටත් තමන් සන්තක කර ගැනීමට සමත් වෙමින් මෙවර තරගාවලිය නිමා කළා. මෙවර තරගාවලියේ දී ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 244ක්.
ඒ අනුව ඔහු මේ දක්වා තරග 39කට සහභාගී වෙමින් ලකුණු 1170ක් ලබා සිටින අතර LPL තරග ඉතිහාසයට ලකුණු 1000ක් එක් කළ පළමු පිතිකරුවා බවට ද පත් වුනා.
ලකුණු 1000ක් සම්පූර්ණ කළ මෙරට පිතිකරුවන් අතරට දිනේෂ් චන්දිමාල් (1069) සහ කුසල් මෙන්ඩිස් (1066) ද සමත් වුනා.
තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් 5 දෙනා
Player | Team | Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | |
1 | වනිඳු හසරංග | B-Love Kandy | 10 | 9 | 1 | 279 | 64 | 34.87 | 0 | 2 |
2 | Babar Azam | Colombo Strikers | 8 | 8 | 0 | 261 | 104 | 32.62 | 1 | 1 |
3 | දිනේෂ් චන්දිමාල් | B-Love Kandy | 10 | 10 | 0 | 259 | 50 | 25.90 | 0 | 1 |
4 | අවිශ්ක ප්‍රනාන්දු | Dambulla Aura | 10 | 10 | 1 | 244 | 70* | 27.11 | 0 | 2 |
5 | සදීර සමරවික්‍රම | Dambulla Aura | 10 | 10 | 1 | 234 | 59 | 26.0 | 0 | 1 |
- 2023 LPL තරගාවලියේ කණ්ඩායම
- වනිඳුගේ කන්ද උඩරට LPL මෙහෙයුම
- ආබාධ පරදා B-Love Kandy මංගල LPL කිරුළ දිනයි!
- WATCH – B-Love Kandy අභියෝග රැසක් මැද LPL 2023 ශූරයින් වූ හැටි – LPL 2023 – 20th August | Cricketry
- WATCH – අයියා – මලෝ ගාල්ල වනසයි; ආබාධ මැද වුවත් B-Love Kandy අවසන් සටනට – LPL 2023 – 19th August | Cricketry
- වනිඳුගේ තනි කකුලේ මෙහෙයුමෙන් Kandy අවසන් තරගයට!
ඇන්ජලෝ මැතිව්ස්
මේ අතර තරගාවලියේ වඩාත් කතාබහට ලක් වූ පිතිකරුවන් අතරට එක් වීමට ඇන්ජලෝ මැතිව්ස් ද සමත් වුනා. පරිණත සහ ප්‍රවීණ ක්‍රීඩකයෙක් ලෙසින් තරගාවලියට එක් වූ ඇන්ජලෝ B-Love Kandy කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් උරදුන් ක්‍රීඩකයන් අතරින් කැපී පෙනෙන මෙහෙවරක නිතර වූ ක්‍රීඩකයෙක් වෙමින් ඒ ගෞරවය දිනා ගත්තා.
අවස්ථා කිහිපයක දී ම තම නිපුනතාවන් උපයෝගී කර ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණයට උරදුන් ඇන්ජලෝගේ විශිෂ්ට ඉනිම් අතරට අවසන් මහා තරගයේ ඉනිම ද එක් වුනා. ඔහු මෙවර තරගාවලියේ දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 210ක් සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක්වුනා.
ලසිත් කෲස්පුල්ලේ
තරගාවලියේ නැගී එන දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගැනීමට සමත් වූයේ Galle Titans කණ්ඩායමේ 24 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක දකුණත් පිතිකරු ලසිත් කෲස්පුල්ලේ. ඔහු තරග 8ක ඉනිම් 8ක දී ලකුණු 232ක් රැස් කරනවා. ඊට Dambulla Aura කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 80ක් ද ඇතුලත් අතර එය කෲස්පුල්ලේගේ විස්සයි විස්ස තරග ඉතිහාසයේ ඉනිමක ඉහළ ම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ද වුනා.
Babar Azam
තරගාවලියේ වාර්තා කළ එක ම ශතකයේ හිමිකරු බවට පත් විමට Colombo Strikers කණ්ඩායමේ Babar Azam සමත් වුනා. ඔහු පල්ලෙකැලේ දී පැවති Galle Titans කණ්ඩායමට එරෙහිව ලකුණු 104ක් ලබා ගනිමින් මේ දක්ෂතාවට පිවිසි අතර එය ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ සිව්වැනි ශතකය බවට ද පත් වුනා.
මීට පෙර 2020 වසරේ දී Colombo Kings නියෝජනය කළ Laurie Evans (108*), 2022 වසරේ දී Kandy Falcons නියෝජනය කළ Andre Fletcher (102*) සහ 2021 වසරේ දී Jaffna Kings නියෝජනය කළ අවිශ්ක ප්‍රනාන්දු (100) ද ශතක වාර්තා කර තිබුණා.
තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් 5 දෙනා
Player | Team | Mat | O | M | Runs | Wkts | Best | Ave | 4 | 5 |
වනිඳු හසරංග | B-Love Kandy | 10 | 37.0 | 0 | 204 | 19 | 6/09 | 10.73 | 1 | 1 |
නුවන් ප්‍රදීප් | B-Love Kandy | 7 | 26.0 | 0 | 231 | 14 | 3/21 | 16.50 | 0 | 0 |
Noor Ahmad | Dambulla Aura | 8 | 31.0 | 0 | 220 | 12 | 3/27 | 18.33 | 0 | 0 |
මතීෂ පතිරණ | Colombo Strikers | 8 | 27.3 | 0 | 241 | 12 | 3/24 | 20.08 | 0 | 0 |
Tabraiz Shamsi | Galle Titans | 9 | 33.0 | 0 | 255 | 12 | 4/20 | 21.25 | 1 | 0 |
නුවන් ප්‍රදීප්
තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙස වනිඳු හසරංග ලැයිස්තු ගත වෙද්දී එහි දෙවැනි අසුන එම කණ්ඩායමේ ම දකුණතින් වේගපන්දු යැවූ නුවන් ප්‍රදීප් සතු කර ගන්නවා. ඔහු මෙවර තරගාවලියේ දී ලබා ගන්නා ලද කඩුලු සංඛයාව 14ක්. ඒ සමඟින් නුවන් ප්‍රදීප් ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ දී කඩුලු 42ක් දවා ගනිමින් වේග පන්දු යවන්නන් අතරින් වැඩිම කඩුලු ලාභියා ලෙසින් ඉතිහාසයට එක් වීමට ද සමත් වුනා.
දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<