චමීරට ආසියානු කුසලානය අහිමි වෙයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

2367

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රධානතම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර හට ආබාධයක් නිසා මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව වාර්තා වෙනවා. 

මේ පිළිබඳව නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගයක් විසින් සඳහන් කර තිබුණේ ඔහුට තරගාවලියේ සියලු තරග අහිමි වන බවයි. 

“ඔහුට උරහිසේ ආබාධයක් නිසා විවේක ගන්න කියලා තියෙන්නේ. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරයි ඔහුට මේ ආබාධ තත්වය හට ගෙන තියෙන්නේ. එම තරගාවලියට පෙර ඔහු මීට පෙර පීඩාවට පත් ව සිටි වළලුකර ආබාධයෙන් සුවය ලබා ගෙනයි සිටියේ. 

අපිට ඔහුව ලෝක කුසලානයට ඉතා වැදගත් ක්‍රීඩකයෙක්. ඒ නිසා ඔහුව ආසියානු කුසලානයෙන් ඉවත් කළා. ඔහු ලෝක කුසලානය වන විට පූර්ණ සුවයෙන් සිටියොත් කණ්ඩායම සඳහා සලකා බලනවා.”  

ඔහුට අමතරව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආබාධයට ලක් වූ වනිඳු හසරංගගේ සහභාගීත්වය ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවිනිශ්චිතව තිබෙන නමුත් ඔහුගේ නම ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ සංචිතයට ඇතුළත් වූ බව වාර්තා වෙනවා.  

තරගාවලියට පෙර අවශ්‍ය පූර්ණ සුවය ලබා ගැනීමට වනිඳුට හැකි වුවහොත් ඔහු සංචිතයට ඇතුළත් වන බව ද සඳහන්. 

ආසියානු කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි දසුන් ශානක හට හිමිව තිබෙන තරගාවලිය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කේන්ද්‍ර කර ගනිමින් මෙවර තරගාවලිය පැවැත්වීමට නියමිතයි 

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.   

Daily Mirror ඇසුරිනි. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<